Monday, December 29, 2014

කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් මෛත්‍රීපාල දිනවමු


මේ ජනාධිපතිවරනය හෝ වෙනත් කුමන මැතිවරනයක් වුවත් කාන්තාවට වැදගත් වන්නේ කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් දේශපාලනය තුල ලැබෙන සහය කවරාකාර වනවාද කියන කාරනාව උඩයි. අද කාන්තාවන්ට අවශ්‍ය වන්නේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යයෙන් ගැලවී නූතනත්වය කරා ගමන් කිරීමයි. මේ කර්තව්‍ය සාර්ථක වීමටනම් කාන්තාවගේ විමුක්තියට සහය වන කාන්තා හිතෛශී පාලනයක් රට තුල ස්ථාපිත වියයුතුය. ඒ සඳහා මෙවර ජනාධිපතිවරනයේදී බුද්ධිමත් කාන්තාවන් කාට තම සහය පලකළයුතුද යන්න පෙන්වාදීම ඉතා වැදගත් වේ.
              පළමුව කතා කළයුත්තේ පවතින අයහපත් පාලනය තුල කාන්තාවන්ට පාලක පක්ෂයෙන් නූතනත්වය කරා යෑමේ තම අරමුණු වලට යාමට තිබෙන බාධාවන් ගැනයි. බොහෝ දෙනා කතා කරන්නේ වත්මන් රාජපක්ෂ රජයේ දූෂණය හා වංචාව ගැනත් පවුල්වාදය ගැනත් පමණි. නමුත් කාන්තාවගේ පැත්තෙන් තවත් අයහපත් දේ බොහොමයක් ගැන කතා කරන්නට තිබේ. ජනධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා පරදවා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති පදවියට පත්කළයුතු වන්නටද කාන්තාවගේ පැත්තෙන් තිබෙන්නේ මේ හේතුය. වත්මන් රජයේ සියළු සංවර්ධන වැඩකටයුතු වලදී කාන්තාවන්ට එහි වැදගත් කාර්‍යභාරයන් කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. කාන්තාවන් පිරිමින්ට පමණක් සීමාවූ විවිධ අංශ වලට යොමු කිරීමටත් නිශ්පාදන ඵලදායීතාවය වැඩි කිරීමටත් මුලින් වැඩසටහන් ක්‍රියාත්මක උනත දැන් අඩපන වී ඇත. ඒ පුරුෂාධිපත්‍ය සම්ප්‍රදායික සමාජයේ හැටිය. අදටත් බොහෝ රැකියාවල පිරිමින් හා සම තත්වයෙන් නියැලීමට කාන්තාවන්ට නොහැක. දේශපාලනය තුල ඇති තත්වයද මීටම සමානය. කාන්තාවන් දේශපාලනයට පිවිසියද බොහෝ විට කාන්තාවන්ම තවත් කාන්තාවකට චන්දය දීමට ඉදිරිපත් නොවේ. රජය හා රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ වල  කාන්තාවන්ට දේශපාලනය කිරීමට ඇත්තේ ඉතා සුලු ඉඩකි. කාන්තාවන් සම්ප්‍රදායික ගෘහණිය හා මවගේ භූමිකාව කළයුතුයැයි සිතන සම්ප්‍රදායික පිරිමින් මේ රජයට අරක්ගෙන සිටින බවද රහසක් නොවේ. කාන්තා කටයුතු අමාත්‍යංශයක් තිබුණද එය ක්‍රියාත්මක වන්නේද පිරිමින්ට අවශ්‍ය ලෙසය. කාන්තා කටයුතු අමාත්‍යවරයා බාලවයස්කාරියන් ලිංගික අපචාරයේ යොදාගන්නා පිරිමි කාම පිස්සන්ට එම බාල වයස්කාරියන්ගේ කැමැත්ත ඇතිනම් ඔවුන් විවාහ කරගැනීමට ඉඩ දියයුතු බවට අදහස් ඉදිරිපත් කළ අයෙකි. මෙවැන්නන් කාන්තාවට යහපතක් කරන්නේ කෙසේද?
                         ඉතිහාසයේ විටින් විට පැවති ආණ්ඩු යටතේ කාන්තාවන්ගේ ආරක්ෂාව විවිධ නීති සම්පාදනය වුවත් ඒ සියල්ල මේ වනවිට අක්‍රියව පවතී. එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති කාළ වල යම් පමණකින් මේ නීති ක්‍රියාත්මක වුනේ ඒ සියල්ල සම්පාදනය කිරීමට රජය මුල් වූ නිසයි. නමුත් එම කාළ වකවානු වලද නීති ක්‍රියාත්මක වීමේ යම් අඩුපාඩු තිබුණි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය බලයට පත් අවධියේදී නම් බාල වයස්කාරියන් විවාහ කරගැනීම ඇතුළු පිරිමියාගේ කාම උමතුවට දැඩි දඬුවම් පමුණුවන නීති තදින් ක්‍රියාත්මක විය. එකළ පිරිමි කාමුකයන් ගැහැනු ළමුන්ට අතක්වත් තැබීමට බිය විය. බාලිකා පාසල් වල සිටම ආත්මාරක්ෂක සටන් පුහුණුව සාර්ථකව ක්‍රියාත්මක කර පිරිමියාගේ කාමුකත්වයට හිස නොනමන බිය නැති කාන්තා පරපුරක් හැදීමේ අඩිතාලම වැටිනි. කාන්තාවන්ට බියකින් සැකයකින් තොරව පිරිමින් කරන විවිධ රැකියා වල නිරත වීමට හැකි විය. අද කෝ ඒ තත්වය? අද කාන්තා පරපුරම අන්ත අසරනය. කාන්තාවන්ට නැවතත් හිමි වී ඇත්තේ සම්ප්‍රදායික මවගේ හා ගෘහණියගේ භූමිකාවයි. දැන් නැවතත් කාන්තාව පුරුෂයාගේ වහල් සිරකාරිය වී ඇත. අද කාන්තා අයිතීන් හඳුනන කාන්තාවට ගරු කරන කාගේ කාගේත් වගකීම වන්නේ දේශපාලන වෙනසක් මගින් හෝ මේ තත්වය මුලිනුපුටා දැමීමයි. එයට දැන් අවස්ථාවක් උදා වී තිබේ.
                                මේ වන විට මහින්ද රාජපක්ෂ පාලනය වෙනස් කිරීමට අති විශාල ජනකායක් සැදී පැහැදී සිටිති. එයින් මෙරට ප්‍රගතිශීලී කාන්තා පරපුරද උපරිම ප්‍රයෝජනය ලබාගතයුතුය. පොදු අපේක්ෂකයා හැටියට මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සටන් වදින මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් කාන්තා පරපුර මෙවර චන්දය භාවිතා කළයුතු වේ. පුරුෂාධිපත්‍යවාදී ජාතිවාදී හමුදාවට පුතුන් හදා භාරදුන් සම්ප්‍රදායික මවුවරුන්ට මෙවර කරන්නට හැකි ද්හෙයක් නැත. මෙහිදී අන්නකාන්තාවන්ගේ පැත්තෙන් වැදගත් වන ඊලඟ සිද්ධිය මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු ගන්නා ක්‍රියාමාර්ගයි. එහිදීද අංක එකට වැදගත් වන්නේ විධායක ජනාධිපතිකම අහෝසි කර අගමැතිවරයාට ලබාදෙන බලතල හා එම තනතුරට පත්කරන පුද්ගලයා කවුරුන්ද යන්නයි. විධායක ජනාධිපතිවරයා අධිකරනයටත් ඉහලින් සිටීම බලවත් ගැටළුවකි මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරනය ස්වාධීන කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය ප්‍රශංසනීය එකකි. එසේ වන්නේ කාන්තාවන්ගේ පැත්තෙන් බැලුවත් අධිකරණය ස්වාධීන නොවී කාන්තා අයිතීන් රකින නීති රීති ක්‍රියාත්මක වීමට පවා තිබෙන බාධාව සැලකිල්ලට ගත් විටයි. මෛත්‍රීපාල සිරිසේන මහතා නිසැකවම අගමැතිවරයාට වැඩි බලතල ලබාදෙන බව කියයි. එය යහපත් දෙයකි. අගමැතිවරයා රනිල් වික්‍රමසිංග මහතා වීමද නරකන් නොවේ. ඒ ඔහු කාන්තාවගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාකාරී වූකෙනෙක් නිසායි. ඇත්තෙන්ම කාන්තා පරපුරට වඩා යහපතක් වීමටනම් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගමැති තනතුරට පත්වියයුතු බව වනිතා හඬේ මතයයි. රනිල් වික්‍රමසිංහ මහතා නරක නැත. ඒ මහතා වටා සිටින අනෙකුත් පුද්ගලයන් ගැන එකවර යමක් කියන්නට බැරිය. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට කාන්තා අයිතීන් හා කාන්තාවගේ විමුක්තිය ගැන පැහැදිලි දර්ශනයක් හා මතයක් තිබේ. ඇය දේශපාලනයේදී ගනුදෙනු කරන්නේද ඊට සුදුස්සන් සමගය.
                                මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ බහුතරයකගේ විශ්වාසය දිනාගතහැකි ඒ වගෙම බොරු ජාති හිතෛශී ජාතිවාදියෙකු ද නොවන කෙනෙකි. ඔහුට යම් අයහපත් බලපෑමක් කළොත් ඒ හෙළ උරුමය පමණි. සිංහල ජාතිවාදී සංවිධාන තම දේශපාලනයට ගාවා නොගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා වගබලාගන්නේනම් එය ඉතා මැනවි. කාන්තාවන්ගේ පැත්තෙන් බැලුවද සිංහල බෞද්ධ ජාතිවාදී සංවිධාන ඉතා අහිතකරය. නූතන කාන්තාවට ඔය ජාතියේ සම්ප්‍රදායික සිරිත් ආදී පසුගාමී අංග රැකීමට අවශ්‍ය නැත. වත්මන් කාන්තා පරපුරේ අභිලාශය වන්නේ පුරුෂාධිපත්‍ය සමාජ රාමුව බිඳහෙලා නූතනත්වය වෙත පියමැනීමයි. එබැවින් මෛත්‍රීපාල සිරිසේන මහතා එම වගකීම ඉටු කිරීම නොපමාව කළයුතුය. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට අගමැතිකම ලබාදිය නොහැකිනම් එතුමා ඇයට වෙනත් ප්‍රභල තනතුරක් හෝ කාන්තාවන් වෙනුවෙන් ලබා දියයුතුය. මෙරට සියළු ප්‍රගතිශීලී ජනයාට වැදහත් වන්නේ ධනයට බලයට කෑදර නොවන ප්‍රජාතන්ත්‍රවාදී යහ පාලනයකි. මෛත්‍රීපාල සිරිසේන මහතා බල ලෝබයෙන් කටයුතු නොකරයි. එතුමා විධායක ජනාධිපති ධූරය දින 100ක් තුල අහෝසි කරන්නටත් ඉන්පසු කිසිදු පැකිලීමකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතාට වැඩි බලතල සහිතව අගමැති තනතුර ලබාදීමටත් එතුමා කටයුතු කරන්නේ එනිසා නොවේද? මෙවන් උතුම් මිනිසුන් අප කවුරුත් නිරතුරුව අගය කළයුතු වේ. කාන්තාවගේ යහපත වෙනුවෙන් අවංකව ක්‍රියා කළ හැක්කේද එවැනි පුද්ගලයන්ට මිස බල ලෝබී ධනයට කෑදර පුරුෂාධිපත්‍ය වාදීන්ට නොවේ. සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී ග්‍රහනයෙන් මිදී නිදහසින් පිරි නව ලොවක අරුනළු දකින්නට අප සැම එක්ව ජනවාරි 8 වනදාට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරමු.

Tuesday, November 25, 2014

කාන්තාව හා පොදු අපේක්ෂකයා

මේ ලිපියටනම් මුල් වුන කාරනේ එසේ මෙසේ එකක් නෙවෙයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දේවල් නෑ. මේ දවස්වල හා හා පුරා කියලා එලි බැහැපු ජනාධිපති පොදු අපේක්ෂකයා හා ඔහු වටා එකතුවුන දේශපාලන සහචරයින් ගැන කියන්නයි ලිපිය ලියන්න හිතුවේ. පොදු අපේක්ෂකයා දැන් මෛත්‍රීපාල සිරිසේන මහතායි. කවුරුත් හිතපු නැති විදිහට කඩාපාත්වුනු ජනාධිපතිවරනයට රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයෙන් තරගවදිනු ඇතැයි බොහෝ දෙනෙක් විෂ්වාස කළත් එය එසේ උනේ නෑ. පොදු අපේක්ෂකයෙක් ගැන කටකතා බොහොමයක් පැතිරෙමින් තිබුණා. පොදු අපේක්ෂකයා අහවලා වනු ඇතැයි කියමින් එක් එක් අය විවිධ මත පලකර සිටිනුද දක්නට ලැබුණි. මේ අතර චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ නමද වරක කියවිනි.

                          වනිතා හඬෙන් පෙන්වාදෙන්නට යන්නේ මේ තත්වය කාන්තාවට බලපාන හා වැදගත් වන ආකාරය කුමක්ද යන්නයි. ඇත්තෙන්ම පාලනයේ වෙනසක් වියයුතුයි. මේ පාලනය තුල විශේෂයෙන් රටේ වනිතා පරපුරට යහපතක් අත්නොවේ. මේ දෙස කාන්තාවගේ පැත්තෙන් බලා බොහෝ දේ කියන්නට පුළුවන. ඇත්තෙන්ම වත්මන් කාන්තා පරපුරට අවශ්‍ය වන්නේ ලොව නූතනත්වය දකින්නට හා පුරුෂාධිපත්‍ය සමාජ රාමුවෙන් ගැලවී එහි සියළු බැමි පුපුරවා හැරීමටය. ඒ සඳහා මේ පවතින පාලන පක්ෂයෙන් ලැබෙන්නේ ඉතා අඩු සහයෝගයකි. විධායක ජනාධිපතිකම පිරිමියෙකු විසින් හොබවන තැන කාන්තාව ගැන කවර කතාද? මේ විධායක ජනාධිපතිකම අහෝසි කිරීමනම් ඉතා හොඳ වැඩක් බව නොපැකිලව කිව හැකියි. රටටත් රටේ ගෞරවනීය වනිතා පරපුරටත් යහපතක් සිදුවූයේ උතුම් කාන්තා චරිතයක් වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජද්නාධිපති වී සිටි අවධියේ පමණි. ඊට හේතුව ඇය බුද්ධිමත් නූතනවාදී.  කාන්තාවක් වීමය.
                           

නැවත වරක් මෙරට වනිතා පරපුරට නිදහසේ ස්වර්ණමය යුගයක් කරා යන්නට තිබූ අවස්ථාවක් අහිමි වුන බව මෙවර ජනාධිපතිවරනය දෙස බලන විට වනිතා හඬට පෙනෙන්නට තිබේ. ඒ ජනාධිපතිවරනයේ විපක්ෂ පොදු අපේක්ෂකයා වන්නට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ඉඩ නොලැබීම තුලයි. මේ ගැන හිතන්නට බොහෝ දේ තිබේ. එයින් ගිලිහී ගියේ මෙරට නූතනත්වයේ අරුණළු දකින්නට බලාපොරොත්තුවෙන් සිටි කාන්තා පරපුරේ අනාගත අභිලාශයන්ය. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය 1994 වසරේ ජනාධිපතිවරනයෙන් ජයගැනීමත් සමග මෙරට සමාජයේ බොහෝ වෙනස්කම් සිදුවුනේ කාන්තාවට යහපත් ලෙස නූතනත්වය කරා පියනගන්නට හැකිවන ආකාරයටයි. අදටත් කාන්තාවන් බුක්තිවිඳින්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය දුරදක්නා නුවනින් කළ වැඩපිළිවෙලවල් වල යහපත් ප්‍රතිඵල වේ. මේ යන විදිහට එවන් තත්වයක් යලි උදාවනු ඇත්ද? වත්මන් පාලනය තුලනම් කොහොමත්ම නැත. අවාසනාවනම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙනුත් එවැන්නක් සිදුවන ලකුණු පහල නොවීමයි.
                    මද අස්වැසිල්ලකට තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කරන බවට ප්‍රකාෂ කිරීමයි. රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් දේශපාලකයන් මෙන් නොව කාන්තාව කෙරෙහි නම්‍යශීලී බවක් දක්වයි. ඔහු පුරුෂාධිපත්‍ය උමතුවෙන් නොපෙලෙයි. නමුත් ඔහු වටා සිටින අනෙක් අය විශ්වාස කළ නොහැක. මංගල සමරවීර මහතා වැනි අයනම් ඉතා හොඳ ගුණගරුක අය වෙති. සමරවීර මහතානම් පස්චාත් නූතනවාදී අදහස් ඇති අයෙකි. ඔහු මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාත් කාන්තාවන් නූතනත්වය කරා යන ගමනට විරුද්ධ නැත. කෙසේ නමුත් ඔවුන් වටා සිටින අනෙක් පුරුෂාධිපත්‍යවාදීන් කුමක් කරනු ඇත්ද යන්න කිසිවෙකුටත් කිව නොහැකි වේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියනම් කාන්තා විමුක්තිය ඉතා හොඳින් ක්‍රියාවට නැගූ බව පෙනෙන්නට තිබේ. වත්මන් විපක්ෂය තුලත් එලෙස කාන්තාව වෙනුවෙන් යම් කැපකිරීමක් කළහැකි අය ඇත්නම් ඒ රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර යන මහත්වරුය. මෛත්‍රීපාල සිරිසේන මහතා විධායකය අහෝසි කර පාර්ලිමෙන්තුවට බලය පැවරීම තුලත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම තුලත් කාන්තාවට යම් ශක්තියක් ලැබීම නියත වශයෙන්ම සිදුවේ. නව රජයක් පිහිටුවීමේදී මංගල සමරවීර  මහතාටත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටත් ප්‍රභල තනතුරු හිමි වන්නේනම් කාන්තා පරපුර වඩා සුරක්ෂිත වනු ඇත. ඒ ඔවුන් සම්ප්‍රදාය තුල නොව නූතනත්වය තුල සිටින නිසාය.
                       
අවසන් මොහොත වනතෙක්ම කුමක් සිදු වේද යන්න පිළිබඳව නිස්චිතව යමක් කිව නොහැක. දැනට පවතින දුෂ්ඨ පාලනයනම් අවසන් වියයුතුම වේ. පොදු අපේක්ෂකයා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය නොවීමනම් සැබැවින්ම  කනගාටුවට කරුනකි. එහෙත් පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහනය වනිතා හඬේද බලාපොරොත්තුව බව කිවයුතුය. ඒ පොදු අපේක්ෂකයා වටා මේ වන විට එක් වී සිටින බලවේග සමස්ථයක් ලෙස ගත් කල කාන්තාව නූතනත්වය කරා ගෙනයන ගමනකට විරුද්ධ නොවන අය වීම නිසයි. හෙට අනිද්දා වන විට තවත් විශාල පිරිසක් පොදු අපේක්ෂකයා වටා එක් රොක් වනු ඇත. සම්ප්‍රදායික නොවන සියළු ජනතාවගේත් විශේෂයෙන් රටේ කාන්තා පරපුරේත් අභිවුර්ධිය සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට මැතිවරන සටන ජයගැනීමට හැකි වේවායි වනිතා හඬ තුලින් ආශිර්වාද කරමු.

Sunday, October 12, 2014

පිරිමියාට කම්සැප දෙන්න කැප වෙන ගෑනුන්ට පාඩමක්

මේ පහුගිය දවස් ටිකේ හරි අමුතු දේවල් තමයි සිද්ධ උනේ. හැම දෙයක්ම ප්‍රචාරය උනේ ජනප්‍රිය බුකිය හරහා. මේ සිද්ධි වලට අළුතෙන්ම එකතු උනේ රත්නපුරේ බට්ටි පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් පහර කෑම. වාරියපොල තිලිනි ඉමල්කා ගැනනම් අපි ගොඩක් දේවල් කතා කළා. එයා කාන්තා පරපුරට ආදර්ශයක් බවත් ඒ වගේ වීර චරිත රටට අවශ්‍ය බවත් වනිතා හඬ නොපැකිලව කියනු ලැබුවා. ඒත් රත්නපුරේ බට්ටි ගැනනම් වනිතා හඬට කියන්න තියෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් දෙයක්. බට්ටිට ගහපු පොලිස් කොස්තාපල් වැරදියි කියලත් අපි කියනවා. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි එයා සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය කාම පිස්සෙක් කියන එක ක්‍රියාවෙන්ම ඔප්පු කරල තිබුන නිසා. නමුත් බට්ටි ගැනත් හොඳක් කියන්න බැරි එයා ගණිකා වුර්තියේ නියැලුනු කෙනෙක් හින්දයි. ඇත්තටම ගණිකාව කියන්නේ පිරිමියාට කම් සැප ලබා දීමට ජීවිතය කැප කර සිටින සම්ප්‍රදායික පසුගාමී චරිතයක්.
                         කාන්තාවක් පිරිමියෙකු අතින් හින්සාවට පත්වුන මේ සිද්ධියේදි බට්ටිගේ අතේත් යම් වරදක් පැහැදිලිව තියෙනවා. පිරිමියාගේ ආධිපත්‍ය තුල පිරිමින්ගේ කාම තෘප්තිය වෙනුවෙන් මුදලට ගණිකා සේවය සපයන්න යන ගොඩක් කාන්තාවන් ලිංගික සූරාකෑමට ලක්වෙනවා. අඩන්තෙට්ටම් හිරිහැරයට ලක්වෙනවා. මොන කතාවක් කිවුවත් ගණිකාවන්ගෙන් කම් සැප බලාපොරොත්තු වන පිරිමින් ඔක්කොම වගේ බලන්නේ ඉතා අඩු මුදලකට නැත්නම් නොමිලේම තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ සිද්ධ කරගන්න. එහෙම කරලා කාන්තාවටම ගරහලා අඩන්තෙට්ටම් කරන්නත් මේ කාම පිස්සන් පස්ස ගහන්නේ නෑ. රත්නපුරේ බට්ටිට වෙච්ච වැඩේ පසුපසින් තියෙන්නෙත් මේ සිද්ධියම නෙවෙයිද? පොලිස් කොස්තාපල් බට්ටිට අයතා ලිංගික ඇසුරකට යෝජනා කරල තියෙන්නේ සමහර විට තර්ජනය කරල වෙන්නත් පුලුවන්. මොකද ඒ මනුස්සයා නොමිලේ බට්ටි ලවා තමන්ගේ ආශාව ඉෂ්ඨ කරගන්න උත්සහ කරා කියන එක තමයි පේන්න තියෙන්නේ. බට්ටි ඒකට අකමැති උන නිසා ඇයට අමානුශික ලෙස පහර දෙන්න පොලිස් කොස්තාපල්වරයා ක්‍රියා කළේ ඒකයි. ඔන්න ඕකයි වෙච්ච වැඩේනම්.
            මේ සිද්ධිය බුකිය හරහා ජනතාව අතරට වේගයෙන් ගියා උනුසුම් පුවතක් විදිහට. ඒ ගැන බ්ලොග් අඩවි වෙබ් අඩවි කීපයකම කතාබස් කර තිබුණා. ජන මාධ්‍ය බොහොඅමයකිනුත් ඒ ගැන කතා කළා. වනිතා හඬට අන්තර්ජාලය පුරා මේ ගැන පලවෙච්චි පුවත් දෙස බලද්දී පෙනිච්ච පැහැදිලි දේකුත් තියෙනවා. ඒක තමයි බට්ටි ගැන බොහොම අනුකම්පාවෙන් එයාගේ පැත්තට කතාකරපු අයගෙන් සේරම වගේ පිරිමි පාර්ශවයට අයත් වීම. ඒ ඇයි? අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් පිරිමින්ගෙන් වැඩිදෙනෙක් මෙහෙමයි. අපේ රටේදිත් පුරුදු විදිහට කාන්තාව පිරිමියාගේ කාම තෘප්තිය වෙනුවෙන් කැප වී සිටියයුතුයි කියන මතය කරපින්නාගෙන ඉන්න සේරම බට්ටි වෙනුවෙන් කතා කළා. ඒ අයට පොලිස් ප්‍රහාරයට ලක්වුනු බට්ටිටත් වැඩිය මේ සිද්ධියෙන් රිදිල වගෙයි පෙනෙන්නේ. පුදුම වෙන්න දෙයක් තියෙයියෑ පිරිමින් කොයි කවුරුත් කාන්තාවක් දෙස බලන්නෙත් කාමය මුල් කරගෙන වෙනකොට. ඒ අයට තමන්ගේ කාමය වෙනුවෙන් කැපවෙන ගණිකාවන්ගේ වටිනාකමක් නියත වශයෙන්ම තියෙන්න ඕනේ. නැතිනම් ඉර පායන්නෙත් බටහිරින්. වනිතා හඬටනම් විශ්වාසයි බට්ටි ගැන අනුකම්පාවෙන් එයාට සහය දක්වපු පුරුෂාධිපත්‍යවාදී පිරිමින්ගෙන් කීපදෙනෙක්වත් ගණිකාවන් ඇසුරු කරනව කියලා. මේ මිනිස්සුන්ට තමන්ගේ දහජරා ආසාවල් ඉෂ්ඨ කරගන්න කැපවෙන සම්ප්‍රදායික මෝඩ කාන්තා චරිත හරි වැදගත්. ඒත් කවදාවත් පිරිමියා සමග උරෙනුර ගැටෙමින් හරි හරියට පිරිමින් කරන කොයි වැඩෙත් කරන්න දක්ෂ කාන්තාවක් වෙනුවෙන්නම් මේ මහා සත් ගුණවත් පිරිමින් පෙනීහිටින්නේ නෑ. ඇයි ඉතින් පිරිමින්ට අභියෝග කරන්න පුලුවන් හයිය හත්තිය තියෙන පිරිමි වගේම ඒ අය කරන ඕන දේකට දක්ෂ ගෑනු පිරිමියාගේ තුච්ච ආසාවල් වලට හරියට පෑහෙන්නෙත් නෑනේ. මොකද ඒ වගේ අය රූපලාවන්‍ය කරනව කියලයෑ. අනේ මෙහෙමත් විකාර.
                  බට්ටි පදින්චි වෙල ඉන්න හරියට කියන්නේ කක්කුස්සි වත්ත කියලලු. මෙයාගේ හැටිත් හිතාගන්න පුලුවන්. කොහොමත් පිරිමියාගේ කාම වස්තුව හැටියට ඒ භූමිකාව හරියට කරන්නේ කක්කුස්සි චරිතම තමයි. නැතුව නූතන යුගයේ බුද්ධිමත් කාන්තාවන්නම් ඔය වැඩේ කීයටවත් කරන්නේ නෑ. මේ කාලේ කාන්තාවන් ඔයවගේ පිරිමි කාම පිස්සෙක් අයතා විදිහට යෝජනාවක් කරානම් ආපිට හැරිලා අතින් පයින් සංග්‍රහ කරන්න තරම් ශක්තිමත්. ඒ වගේ අයට පිරිමියෙකුට කවදාවත් අතක් තියන්නත් බෑ. කාම පිපාසාවෙන් පෙලෙන පිරිමින්ට ඉතින් බට්ටිලා වගේ අයගේ පිහිට තමා. මේ වැඩේ කොහොම හරි බට්ටිටත් උගන්නලා තියෙන්නේ හොඳම පාඩමක්. බට්ටිට විතරක් නෙවෙයි පිරිමියාගේ කාම තෘප්තියට ජීවිතය කැප කරන අනෙක් සම්ප්‍රදායික මෝඩ කාන්තාවන්ටත් මේක හොඳ පාඩමක්.සල්ලි වලට  පිරිමින්ව සනසන්න ගිහින් අන්තිමට වෙන්නේ ඒ සේරම නොමිලේ වැඩේ කරවගන්න උත්සහ කරන එක. වැඩ වැරදුනහම හතර වටින් බැට කනවා. ලෝකයම 21 වන සියවසේ සිටින විට අපේ කාන්තා පරපුරම තවමත් සම්ප්‍රදාය තුල කොටු වෙනවා. දැන්වත් මේ මෝඩකම් අතඇරලා ලෝකේ දියුණු රටවල් වල පිරිමියාගේ ලිංගික වහලියන් නොවන කාන්තාවන් ආදර්ශයට අරන් නූතන යුගයට පියවර තියන්න අපේ කාන්තාවනුත් අධිෂ්ඨාන කරගතයුතුයි. වනිතා හඬ පැහැදිලිව කියන්නේ බට්ටිට වෙච්ච දේ ගැන බුද්ධිමත් කාන්තාවන් කනගාටු වියයුතු නෑ කියන එකයි. ඒක ඇත්තටම වෙස්වලාගෙන ආපු ආශිර්වාශයක්. මේ වගේ සිද්ධි වලින් බැට කන තරමට තමයි තමන් ජීවත් වෙන්නේ කොහෙද කියලා සම්ප්‍රදායික මෝඩ ගෑනුන්ට තේරෙන්නේ. අපේ රටට තවත් බට්ටිලානම් ඕනෑම නෑ. බුද්ධිමත් කාන්තාවන් වගේම කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් කැප වෙන බුද්ධිමත් පිරිමින්ද ගණිකා වුර්තිය ඉදිරි කාලයේදි රටෙන් තුරන් කරන්න එක්ව කටයුතු කළයුතුයි. කාන්තාවගේ ප්‍රගතිශීලී ගමන්මග අහුරන බාධක සියල්ල මැඩගෙන ඉදිරියට යන්න අපේ රටේ කාන්තාවන්ටත් ශක්තිය ධෛර්ය තිබෙන බව අපට හොඳ හැටි විශ්වාසයි.

Sunday, August 24, 2014

කොල්ලෙකුගේ නොහොබිනා හැසිරීම මට්ටු කළ වාරියපොල වීර කෙල්ල.


   







  පහුගිය කාලේ වාරියපොල ගැන හරියට කතා උනා. මේ දැනුත් ඒ උනුසුම අඩුවෙලා නෑ. සිද්ධිය උනේ බස් එකේදී ගෑනු ළමයෙකුට නොහොබිනා කතාවක් කියූ තරුණයෙකුට ඒ කෙල්ල හොඳවායින් ගුටි බැට සංග්‍රහයක් ලබා දී නියම පාඩමක් ඉගැනවීමයි. මමනම් කියන්නේ මේ සිද්ධිය නූතන කාන්තා පරපුරටම හොඳ ආදර්ශයක්. නමුත් බොහෝ පුරුෂාධිපත්‍ය උන්මතතක පිරිමින් කියා සිටින්නේ මේ කෙල්ල වැරදියි කියන එකයි. ඇත්තෙන්ම ඒ කෙල්ල කළේ කළයුතු දේ. මගතොටේදී කාන්තාවන් කොතෙකුත් මේ වගේ සිද්ධි වලට මූන දෙනවා. ඒත් හොඩක් අය අසරනයි. මේ කෙල්ල සැබෑ වීර චරිතයක්. හොඳ ආදර්ශයක් දුන්නා පිරිමින්ව මට්ටු කරන්න පුළුවන් කියලා ඔප්පු කළා. ඇයට අපගේ ප්‍රණාමය පුදකලයුතුයි. වාරියපොළ වීර කෙල්ලට ජය වේවා. කාන්තාවන් හැමෝම ඇය ආදර්ශයට ගනිත්වා.                                                                                                                                                                              

Monday, August 11, 2014

වනචර බාප්පට පාඩමක් ඉගැන්නූ වීර කෙල්ල



කාන්තාවන් වෙනුවෙන් හඬ නගන වනිතා හඬ Facebook ගිනුම ආරම්භ කළ පසු ඒ තුල සැරිසරන අතරේ හමු වූ වැදගත් පුවතක් බ්ලොග් එකටත් දමන්නට සිතුනි මට. මේක වැදගත් වෙන්නේ විශේෂයෙන් කාන්තාවන්ට හා ගෑනු ළමයින්ට. අද කාලේ ගෑනු ළමයෙක් සමාජයේ අනෙක් පිරිමින්ගෙන් කෙසේ වෙතත් තමන්ගේම ඥාති වැඩිහිටි පිරිමියෙකුගෙන්වත් ආරක්ෂා කරගන්න බැරි තත්වයකුයි රටේ තියෙන්නේ. එහෙම එකේ මේ ඉන්දියානු කෙල්ල කරපු වීර ක්‍රියාව ලෝකෙටම ආදර්ශයක්. මේ පහතින් දක්වලා තියෙන්නේ Facebook එකෙන් උපුටාගත් කතාව. ගෑනු ළමයින්ට තාත්තලත් අතවර කරන මේ රටේ එහෙම එවුන්ට මේ වගේ නියම පාඩම් උගන්නන්න තරම් එඩිතර කෙල්ලන් අපේ රටේ නැති එකනම් ඇත්තෙන්ම කනගාටුවට කාරනයක් වෙනවා. මේ කතාව කියවලාම බලන්නකෝ.

\\ ඥාති දියණිය භාප්පාගේ ලිංගය කපා දුවයි

තමන්ට දෙවන වතාවටත් අතවර කිරීමට පැමිණි භාප්පාගේ ලිංගය කපා දැමීමට අවුරුදු 17 හෝ 18ක් වයසැති ගැහැණු ළමයෙකු සමත්ව ඇති පුවතක් වාර්තා වේ.

එම පුවත වාර්තාවන්නේ අසල්වැසි ඉන්දියාවෙන්ය.

එකී දැරිය අසනීප වූ අවස්ථාවක ඇයගේ මව සිය සහෝදරියකගේ සැමියා ලවා දැරිය සුවපත් කර ගැනීමට කටයුතු කර තිබේ.

ඒ ඇයගේ භාප්පා බව පැවසෙන මහේන්ද්‍ර මෙහෙතා ලවාය.

ඔහු ආධ්‍යාත්මික කටයුතුවල නිරත වන අයෙකු බව පැවසෙන අතර දැරිය ඔහු අතින් පළමු වරට එම අවස්ථාවේදී දූෂණයට ලක්ව ඇත.

මෙම සිද්ධිය දැරිය කිසිවෙකුටත් නොපවසා ඇති අතර මහේන්ද්‍ර මෙහෙතා ගැන පවුලේ අය තුළද කිසිදු සැකයක් ඇති වී නැත.

මේ අතර පසුගිය 2 වැනිදා මෙම ගැහැණු ළමයා දෙවන වතාවට සිය භාප්පාගේ නිවසට ගොස් තිබේ.

එසේ යාමට පෙර ඇය තමන්ට අදත් මීට පෙර මෙන් අත්දැකීමකට මුහුණපෑමට සිදුවෙතැයි ඇති වූ සැකය මත තියුණු පිහියක් හා ජංගම දුරකථනයක්ද රැගෙන ගොස් ඇත.

එහිදී භාප්පා සමග ඇති වූ කතා බහ පටිගත කරන අතරම ඇය විසින් ඔහුගේ ලිංගය කපා නිවසින් පලාගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලිංගය අහිමි භාප්පා තවමත් නිදැල්ලේ සිටින බවද කියැවෙයි.

ලොව ස්ත්‍රී දූෂණ බහුල රටක් ලෙස අසල්වැසි ඉන්දියාව නම් දරා තිබේ.\\



https://www.facebook.com/photo.php?fbid=10202246531464740&set=a.1553824245565.2070695.1233945143&type=1&theater

Monday, July 14, 2014

කාන්තාවන් සිහියට ගතයුතු වන වැදගත් දෙයක්.




වැල්වටාරම් නොකියා මේ කියන්නට යන දේ කෙලින්ම කියන්නම්. කියන්නට යන්නේ වෙන දෙයක් නෙවෙයි කාන්තාවට කාන්තාව මිස පිරිමියාගෙන් කිසිදු හවුහරනක් නැත කියායි. මේ කියමන හරිද කියල පුරුෂාධිපත්‍යවාදීන්ගෙන් අහල වැඩක් නෑ. එහෙම ඇහුවොත් ඒ අය ආපිට අහයි ඇයි පිරිමින් කාන්තාව රැකබලාගෙන පෝෂණය කරමින් ඔවුන්ට හහතින් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හදන්නේ නැත්ද කියලා. ඒත් ප්‍රශ්නෙ ඒක නෙවෙයි. නූතන යුගයේ කාන්තාවන් පිරිමින්ගෙන් මෙලෙස රැකවරනය හා යැපීම බලාපොරොත්තු වියයුතුද කියන එකයි. අන්න එතනම කාන්තාවගේ නිදහස පිරිමියා විසින් උදුරගෙනයි තියෙන්නේ.
                              බුද්ධිමත් කාන්තාවන් මේ ටිකනම් කල්පනාකරලා බලන්නම ඕනේ. ඒ පිරිමියා තමන් රැකබලාගෙන පෝෂනය කරන්නේ තමන්ට ඇති කරුනාවක් නිසාද කියන එක. ඇත්තෙන්ම නෑ. ඔවුන් එසේ කරන්නේ කාන්තාව ලවා තම කාමුක අවශ්‍යතා සංසිඳුවාගනිමින් ළමයි වදවාගැනීම යහතින් කරගන්නට පුළුවන්තාක් විතරයි නේද? කාන්තාවන් තමන්ගේම ස්වාධීන ගමනක් පිරිමියාට යටත් නොවී යන්න උත්සහ කළොත් ඔය කාන්තාවන්ට බොරු ආදරය පෙන්වන කිසිම පිරිමියෙක් ඔවුන් කියන ආකාරයට කාන්තාවන් රැකබලාගනිමින් පෝෂණය කරමින් ඔවුන් වෙනුවෙන් ජීවත් වන්නට යන්නේ නෑ. බොහෝ පිරිමින්ට කාන්තාව තමන්ගේ කාම වස්තුව හැටියට පරිහරනය කළත් කාන්තාවට කිසිම වටිනාකමක් දෙන්නටනම් උවමනාව ඇත්තේම නෑ. පිරිමින්ට පමණක් සීමාවන කොතෙකුත් දේ කාන්තාවන් විසින් කරමින් තමන්ට එය කළහැකියැයි ඔප්පු කර පෙන්වුවද ඒ ගැන වචනයක්වත් කතාකිරීමට පුරුෂාධිපත්‍යවාදී මහන්තත්ත පිරිමින් කැමති නැතිය. පිරිමින් කරන ඕනෑම කටයුත්තක් කරමින් තම ජීවිත අභියෝග ජයගෙන ඉදිරියට යන්නට කාන්තාවන් උත්සහ කළහොත් කාන්තාව රැකබලාගැනීමට පාරම්බාන පිරිමි සේරම ඇය අනතුරට ඇදදමා පලායනු ඇත ඒ කාන්තාව තම කාම වස්තුව හා ළමයි වදන යන්ත්‍රය ලෙසට සිතන මහා ධීර වීර පිරිමියාගේ හැටිය.
                              

      පිරිමින් හැමවිටම කාන්තාව මනින්නේ තම ලිංගික ආශාවන් මත පිහිටා සිටයි. ඔවුන්ට එයින් තොර ලොවක් නැත. පිරිමියෙකු කාන්තාවකට සමාජයේදී යම් උපකාරයක් කළද ඔහු මුලින් බලන්නේ ඇය තමන්ගේ කාමුක හැඟීම් වඩවා ගැනීමට කොතරම් සුදුසුද යන්නයි. යම් ප්‍රශ්නයකට මුහුණදෙන කාන්තාවක් තරුණ රූමත් කෙනෙක් උනානම් යහපත් පුරුෂයින් සේරම ඇයට උදවු කරයි. නමුත් පිරිමින්ට අභියෝගයක් වන ශක්තිමත් වගේම පිරිමින් තරමට කාර්ය කිරීමේ දක්ෂ කාන්තාවකට මුහුනදෙන්නට වන සමාජ ගැටළුවක් නිරාකරනය කරගැනීමට මේ පුරුෂයින් කෙසේවත් උදවු කරන්නේනම් නෑ. වෙන එකක් තියා පිරිමියෙක් කාන්තාවක් දෙස බලා හිනා උනත් ඒ ටික කරන්නේත් තමන්ගේ කාම ආශාවට ගැලපෙන පෙනුමක් ඇති අය එක්ක විතරමය. නමුත් පිරිමින් කියන්නේ තමන් ස්ත්‍රී දූෂකයන් අපචාරකරුවන්ගෙන් කාන්තාව බේරාගැනීමට ඕනෑම මොහොතක ඉදිරියට එනවයි කියන එක. මේ අමූලික බොරු. ඇත්තෙන්ම ඔවු ඒ ටික කරන්නේත් කාන්තාව ඔවුන්ට ප්‍රියමනාප කාමුක ස්ත්‍රී චරිත වනවානම් හා විවාහ වීම දරුවන් හැදීම ආදියට බැඳී සිටිනවනම් පමණයි. මේ ටික නූතන යුගයට පිවිසෙන කාන්තාව අනිවාර්ය ලෙස දැනගන්න ඕනේ.
                              
        අන්තිමටම කියන්න තියෙන්නේ මේ ටික විතරයි. ඒ පිරිමින් සියලු දෙනා කාම පිස්සන් මිස කාන්තාවට හිතැති අය නෙවෙයි කියන ටික. කාන්තාවට අවසානයේ කාන්තාව පමණයි පිහිටට එන්නේ තමන්ගේ උත්සහයෙන් නැගී සිට නව ලොවට පිවිසෙන්නට ඔවුන් උත්සහ කරද්දී. ඒ නිසා හැම විට කාන්තාව තමන් පිරිමින්ට ප්‍රියමනාපද යන්න නොසලකා පිරිමියාගෙ උදවුවක් නැතිව ලෝකයේ ජීවත් වීමට උත්සහ කළයුතුයි. පිරිමින්ට අභියෝගයක් වන එඩිතර ශක්තිමත් කාන්තාවන් වටා සමස්ථ ස්ත්‍රී ජනසමූහයම ඒකරාශී වියයුතුයි. හැම දේටම පිරිමියාගේ පිහිට පැතීම නවතා දාන්නත් ඕනේ. ඒ වගේම තමන් කාන්තාවට ඔයතරම් හිතවත්නම් කාන්තාව වෙනුවෙන් කැප කිරීම් කරනවනම් කාන්තාව පිරිමියාගේ කාමුක වහල් බවෙන් මිදී නව ලොව කරා යන ගමනට සහය දෙමින් පුරුෂයාට අභියෝග කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට ඉදිරිපත් නොවන්නේ ඇයි කියලා ඔය ගුණගරුක පිරිමින්ගෙන් අහන්නත් ඕනේ. ඔවුන්ට කට උත්තර නැති වෙන්නේ මෙන්න මෙතනදී. නැවතත් මතක්කරදෙන්න තියෙන්නේ කාන්තාවන්ට පිහිටක් වන්නේ හැමවිට කාන්තාවන් පමණක් කියන එකමයි. පුරුෂාධිපත්‍යවාදී වීරයන්ට මේක  බලලා  හැකිනම් හිතේ අමාරුව යන්න මොනවහරි දොඩවලා යන්න පුළුවන්.

Saturday, June 21, 2014

ලොව ප්‍රථම අගමැතිනිය


 ලොව ප්‍රථම අගමැතිනිය බිහිකිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවුනේ 1960 ජූලි 21 වන දින ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලංකාවේ අගමැති ධූරයට පත්වීමත් සමගයි. මෙය මුලු ලොවටම විශේෂ සිද්ධියක් වුනේ ඒ වන තෙක් ලොව වෙනත කිසිදු රටක රාජ්‍ය නායකත්වයට කාන්තාවක් පත් වී නොතිබුණු හෙයකිනි.වසර 1916 අප්‍රේල් 17 උපත ලැබූ ඇය රාජ්‍ය නායකත්වයට පත්වීම සමස්ථ කාන්තා පරපුරට මහත් ආඩම්බරයක් උනා පමණක් නොව ඉතා වැදගත් සිදුවීමක්ද විය. නමුත් අවාසනාවට එතුමිය වටා එක් රොක් වී සිටියේ සිංහල බෞද්ධ ජාතික චින්තන කාරයන් පිරිසක් සහ හාමුදුරුවරුන් පිරිසකි  ඒ හේතුවෙන් ඇයට බටහිරින් පැනනැගුනු කාන්තාවට ලැදි කාන්තා විමුක්ති ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම අපහසු විය. එය ඇත්තෙන්ම මෙරට කාන්තාවන් සම්බන්ධයෙන් මහත් අවාසනාවකි.


Saturday, May 17, 2014

පුරුෂයාගේ වහලියන් හෙවත් නැණවත් ගෘහණියෝ


ලිපිය සකස් කරන්න හිතුවේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිතර දෙවේලේ අහන්නට දකින්නට ලැබෙන වෙළඳ දැන්වීම් කෙරෙහි පොඩි අවධානයක් යොමු කරපු නිසයි. මේ වෙළඳ දැන්වීම් වලින් බොහොමයක් එදිනෙදා ජීවිතයේ මූලික කාර්‍යන් වන ආහාර පාන ගැනීම ඇඳුම් ආයිත්තම් විලාසිතා කිරීම ආදිය සම්බන්ධවයි. මෙහිදී ආහාරපාන සම්බන්ධ වෙළඳ දැන්වීම් වලින් හැමවිට සම්ප්‍රදායික ගෘහණිය උලුප්පා පෙන්වමින් ඇය ගැන වර්ණනා කිරීමට පුරුෂාධිපත්‍යවාදී සමාජ රාමුව තුල සිටින ධනවාදී වෙළඳ ව්‍යාපාරිකයා හැම විට උත්සහ කරයි.
                         විශේෂයෙන් ආහාර පාන සම්බන්ධ වෙළඳ දැන්වීම් වලදී මුළුතැන්ගෙය උලුප්පමින් එහි සම්ප්‍රදායික අයිතිකාරිය වන ගෘහණියට  මුල් තැනක් දෙන්නේ කාන්තාවන්ට මුලුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු අනිවාර්‍ය බව සමාජයට ඒත්තු ගැන්වෙන ආකාරයටයි. කපටි පුරුෂාධිපත්‍යවාදී ව්‍යාපාරිකයා මෙහිදී ඇය නැණවත් ගෘහණියක් ලෙස හඳුන්වන්නේ තම වහලියන් ලෙස කාන්තාව පුරුදු පුහුණු කිරීමේ ප්‍රයත්නයේ එක් කොටසක් ලෙසයි. මෙරට වෙළඳ දැන්වීම් වලට පෙනී හිටින ඇතැම් මෝඩ කාන්තාවන්ට මෙය තේරුම් ගන්න හැකියාවක් නැති වීම සැබවින් කණගාටුදායකය. මොවුන් රත්ති රසයි රත්ති උකුයි වගේ කොම්පැනි කාරයන් උගන්වන වාක්‍ය උජාරුවට කියමින් රූපවාහිනී කැමරා ඉදිරියේ රඟපෑමක් කරන්නේ කාන්තාවගේ ප්‍රගතියට බාධාවක් වන විලංගුව බෙල්ලටම දමාගෙන බව ඔවුන් නොදනිති. කිරිපිටි දැන්වීම් වල සිටින නැණවත් මවුවරුන්ද මේ ආකාරයේම සම්ප්‍රදායික කාන්තා චරිත බව කියන්නට දෙයක් නොවේ. ඔවුන් මේ රඟදක්වන්නේ කාන්තාවට අයිති පිරිමි ගෘහමූලිකයාගේ කුස්සිය බවත් ඉවුම් පිහුම් හා දරුවන් හැදීමෙන් තොර වෙන දෙයක් කාන්තාවන්ට නැත යන්නත් ඇඟවෙන පුරුෂාධිපත්‍ය කතන්දරයේ එක් ජවනිකාවක් පමණයි. මේ වගේ කාන්තාවන්ට කොතෙක් පෙනුම තිබුණත් වැඩක් නැත්තේ හිතන්නට මොළ කළඳක් නැති මෝඩ චරිත නිසාමයි.


                            වෙළඳ ප්‍රජාව විසින් ඉදිරිපත් කරන දැන්වීම් අතර තවත් ජනප්‍රිය දෙයක් වන්නේ සබන් හා රෙදි සෝදන යන්ත්‍ර ආදිය ගැන දමන ඒවායි. එහිදීද කාන්තාවට සම්ප්‍රදායික ලෙස පිරිමියාගේ රෙදි ටික හෝදන රාජකාරිය පැවරෙන්නේ ඉතා සූක්ෂමවය. සියල්ල සිදුවන විට රෙදි සෝදන ගැහැණිය නැණවත් ගෘහණියයි. නැණවත් ගෘහණියන්ගේ තේරීම අර පුරුෂාධිපත්‍ය ව්‍යාපාරිකයාගේ සබන් කැටය හෝ වොශින් පවුඩර් පැකට්ටුවයි. අහෝ කරුමයක මහත. නැණවත් ගෘහණිය වී අර වෙලෙන්දාගේ සබන් කැටය පාවිච්චි කර රෙදි ටික හෝදාගන්න විට තමා නිවස තුල නොදැනුවත්වම මෙහෙකාරියකගේ තත්වයට පත්වී හමාර බව මොවුන්ට නොවැටහෙයි. තවත් සබන් නිෂ්පාදකයෙකුට ඔහුගේ සබන් කෑල්ල කාන්තාවන්ගේ රුව වඩන හා රූපය රකින අරුමපුදුම දෙයකි. එහෙත් මෙලෙස රුව වැඩීමෙන් කාන්තාවන්ට අවසානයේ සිදු වන්නේ පිරිමින්ගේ කාම උමතුවට තම සිරුර පූජා කර ඔවුන්ගේ කාම වස්තු වීමට මිස අන් කිසිවක් නොවේ. ඒටික නොතේරීම ඉමහත් අවාසනාවකි. බොහෝ කාන්තාවන් පිරිමින්ගේ කාම සන්තර්පණයට තම සිරුර පිදීමට කැමැත්තක් දැක්වීම සියල්ලට වඩා අවාසනාවන්ත දෙයයි. ඒ ඔවුන්ටද පිරිමින් සමග ලිංගික සංසර්ගයේ යෙදෙමින් තෘප්තිය ලැබීමට කාම උමතුවක් තිබීමේ හේතුවෙනි.
                     
         මේ සියල්ලට නැවතීමේ තිත තැබීමට කාලය දැන් උදා වී ඇත. මෙකළ කාන්තා පරපුර සිතට ගතයුත්තේ පිරිමින්ගේ සම්ප්‍රදායික වහලිය වන නැණවත් ගෘහණියගේ චරිතය රඟ දක්වමින් සමස්ථ කාන්තා පරපුරේම ඉදිරි ගමන වලක්වන මෝඩකම තුල තවත් එල්බගෙන සිටින  ආකාරය නොව මේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය සමාජ රාමුවම මුලිනුදුරා දමන ආකාරයයි. ඒ සඳහා වත්මන් කාන්තා පරපුර නව ලොව දැනුමෙන් සන්නද්ධ කළයුතුව ඇත. එය කාන්තාව සම්බන්ධයෙන් සලකා බලන කළ යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයකි.
                              

Sunday, April 27, 2014

ශ්‍රී ලාංකේය කාන්තාවාදය ඔප්නැංවූ ලේඛිකාව

අද මා කතා කිරීමට අදහස් කළේ  මෙරට කාන්තාවන්ගේ පැත්තෙන් බලන විට  විශේෂයෙන් වැදගත් වන එක් කාන්තා චරිතයක් ගැනයි. ඇය ගැන වැඩි විස්තර කීමට අවශ්‍ය නොවන්නේ නම කියූ පමණින් ඇය කවුදැයි සැවොම හඳුනන නිසායි. මේ අන් කවරෙකුවත් නොව සුමිත්‍රා රාහුබද්ද යි. ඇයව මෙරට බොහෝ දෙනා හඳුනාගෙන ඇත්තේ ප්‍රකට ලේඛිකාවක ලෙසය. නමුත් ඇය ගැන බොහෝ දෙනෙක් නොදන්නා දෙය නම් ඇය මෙරට සිටින ප්‍රභල කාන්තාවාදිනියක් යන්නයි. ඒ බව බොහෝ විට ඇය තම සාහිත්‍ය කෘති වලිනුත් ඔප්පුකර ඇත. ඇය මෙරට කාන්තා කටයුතු අමාත්‍යංශයේද වැදගත් තනතුරක් හොබවන්නේ ඇයගේ වටිනාකම හා හකියාවන් කාන්තා කටයුතු ඉදිරියට ගෙනයෑමේදී කොතරම් වැදගත් දැයි රටට පෙන්වාදෙමිනි.
                              


   ලේඛිකවක් හැටියට තම හැකියාවන් මනාව පෙන්නුම්කළ ඇය ශ්‍රී ලාංකික කාන්තා පරපුරට ඇති සුවිශේෂී සමාජ ගැටලු ගැනද මනා අවබෝධයකින් කටයුතු කළාය. ඇය නොබියවම මෙරට කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් ගැන කතා කළේ පීඩාකාරී පුරුෂාධිපත්‍ය තුට්ටුවකට මායිම් නොකරය. බවලත් අයට බලවත් අතවර හා අකටයුතුකම් සිදුවන බව ඇය වරක් පුවත්පත් සාකච්ඡාවකදී කියා තිබූ ආකාරය මට මතකය. කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් ගැන කොපමණ සංවේදී බවක් ඇයට තිබෙනවාද යන්න මෙයින් පෙනේ. ඇය කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා හින්සන ක්‍රියා වලට එරෙහිවද නොබියව තම අදහස් ඉදිරිපත් කරන්නීය. පුරුෂාධිපත්‍යවාදී සමාජ වටපිටාවක අභියෝග ජයගනිමින් සමාජයට හා කාන්තා පරපුරට වැදගත් ආදර්ශයන් ලබාදෙමින් ඇය කරන මෙහෙවර මහත් සේ අප අගය කළයුතුය. ඇයගැන මේ සුවිශේෂී කාරණය නොදැන සිටි බොහෝ දෙනෙකුට ඒ ගැන දැනගැනීම සඳහාත් ඇයගේ චරිතය කාන්තාවන්ට කොපමණ වැදගත්ද යන්න පෙන්වා දීම සඳහාත් මේ කෙටි ලිපිය පළ කිරීමට අදහස් කළෙමි.

Sunday, April 13, 2014

සම්ප්‍රදායික සිංහල අවුරුද්ද නවීකරනය කළයුතු කාලයයි මේ



සිංහල අළුත් අවුරුද්ද ගැන කතාකරන්නට එක් එක් කෙනාට බොහෝ දේ ඇතත් මට ඇත්තේ සම්ප්‍රදායෙන් බැහැරව කතා කිරීමට කරුණු ටිකකි. මෙය සිංහල දෙමළ හෝ සිංහල හින්දු අළුත් අවුරුද්ද ලෙසත් හඳුන්වනු ලබයි. ඒ කෙලෙස හැඳින්වුවද මේ ජාතික උත්සවයේ ඉතිහාසය හෝ වෙනත් කරුණු කුමක් වුවත් එහි තිබෙන සම්ප්‍රදායික ලක්ෂණ කාන්තාව කෙරෙහි බලපාන ආකාරය නූතන ඇසින් බලා විග්‍රයක් කිරීම මගේ අරමුණයි.
                              

   අළුත් අවුරුද්දේ වැදගත්ම චාරිත්‍ර ටික පටන්ගන්නේ ලිප ගිනි මෙලවීමේ සිටය එතැන් සිට වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකැත් වේලාව අනුව සිදුකරනු ලබයි. මේ සිද්ධි සැලකීමේදී අපට පැහැදිලිව පෙනෙන එක් දෙයක් නම් කාන්තාව සම්ප්‍රදායික ගෘහණිය ලෙස ඇය තවත් කුස්සිය මුල්ලටම තල්ලු වීමයි. එය මනාවට පෙන්නුම් කරන්නේ අළුත් අවුරුද්දට නිවසේ කාන්තාව, මව විසින් ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රය ඉටු කිරීම අනිවාර්‍ය දෙයක් වී තිබීමෙනි. ලිප ගිනි මෙලවීම යනු මුලුතැන්ගෙයි ඉවුම්පිහුම් කටයුතු සමග එකට සම්බන්ධ වූ දෙයකි. එවැන්නක් වැදගත් චාරිත්‍රයක් වීමෙන් පෙන්නුම් කරන්නේ කාන්තාව සම්ප්‍රදායික ගෘහණිය වීමද ඒ හරහා වැදගත් දෙයක් ලෙස ඉස්මතු කිරීමයි. මේචාරිත්‍රය වටා බැඳෙන අනෙක් සිද්ධිය වන්නේ කිරිබතක් පිළියෙල කිරීමයි. කිරිබතක් පිසීමට දැනගෙන හිටීම කාන්තාවන්ට අනිවාර්‍ය දෙයක් වන තරමට මෙය අප සමාජයේ මුල්බැසගෙන ඇත.  ඇත්තෙන්ම අවුරුදු චාරිත්‍ර වල වැදගත්මක් තිබුණද ලාංකීය කාන්තාවට සිය සම්ප්‍රදායික සීමා මායිම් බිඳදමා නූතනත්වය කරා යන්නට තිබෙන සමාජමය බාධකයන් ඒ තුලින් තවත් දැඩි වීමනම් පැහැදිලිව පෙනෙන සත්‍යකි. එබැවින් මේ චාරිත්‍ර කාන්තාවට පමණක් සීමා කිරීම නොකිරීම හෝ අවම වශයෙන් කළ හැකිනම් එය යහපත් වේ. විශේෂයෙන් පිරිමින්ද කාන්තාවන් සමග කුස්සියේ වැඩකටයුතු බෙදාගන්නා මේ කාලයේ. ඇත්තෙන්ම  එවැනි චාරිත්‍ර ඉවත් වන්නේනම් මා එයට පෞද්ගලිකව කැමතිය. එහෙම නැත්නම් සිංහල අළුත් අවුරුද්ද කාලයට අනුව නවීකරනය කරයුතුයි.
                            ලිප ගිනි මෙලවීම හා කිරිබත පිසීමට පසුව එළඹෙන්නේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයයි. වැඩ ඇල්ලීමේදී කැපී පෙනෙන්නේ පිරිමි පාර්ශවය කරන වැඩකටයුතුය. බොහෝවිට ගම් වලනම් කුඹුරු වැඩ හා සම්බන්ධ දේ කෙරෙයි. කාන්තාවන් එම වැඩ කටයුතු වල බහුලව නිරත නොවන බැවින් කාන්තා ක්‍රියාකාරකම් එහිදී කැපී පෙනෙන්නේ නැත. මෙයින් පෙනෙන තවත් එක් දෙයක්නම් සමාජයේ පවුල් නඩත්තු කිරීම ඇතුලු වගකීමෙන් යුතු මෙන්ම තරමක් මහන්සි වී කළයුතු වැඩකටයුතු සියල්ල පිරිමින් විසින් පමණක් කළයුතුය යන සමාජ පිළිගැනීමයි. කාන්තාවන් පමණක් කරන කොතෙකුත් දේ තිබුණත් ඒ ගෘහ කටයුතු හා ඊට සම්බන්ධ දේට පමණක් සීමා වන දේවල් වේ. ඒ කිසිත් කාන්තාවන් විසින් ඉස්මුදුනේ තබාගැනීමද නුවනට හුරු නැත. එබැවින් වියයුත්තේ මහන්සිවී ශරීර ශක්තිය යොදවා කරන වැඩකටයුත්තක් සමග වැඩ ඇල්ලීමේ ක්‍රියා පිළිවෙතක් කාන්තාවන්ටද අදාල වන ලෙස මේ සිරිත නවීකරනය වීමයි.  ඇත්තෙන්ම ඊට බාධාවක් ඇතැයි කියා සිතන්නටත් බැරිය. හේතුව කාන්තාවන් එවැනි වැඩ කටයුතු වලට යොමු වීමට දක්වන මැලිකම යම් බාධකයක් වී ඇත. එය ඉවත්කර සම්ප්‍රදායෙන් මිදියහැකිනම් ප්‍රශ්නයක් නැත.
                              
   ගනුදෙනු කර ආහාර අනුභවය සැලකීමේදී ගනුදෙනු කිරීම සම්බන්ධයෙන්නම් එතරම් ගැටලු නැතත් ආහාර අනුභව කිරීමේ චාරිත්‍රය සලකන විටනම් ඒ ගැන යමක් නොකියා බෑ. එහිදී බොහෝ විට පවුලේ වැඩිහිටි පිරිමි කෙනෙකු සෙසු සාමාජිකයන්ට කිරිබත් කැවීම සිදුකරන්නේ සාමාන්‍යයෙන් ගෘහ මූලිකත්වය පුරුෂයාට හිමිවන කාරනය ඉස්මතු කරමිනි. කාන්තාවන් එම කාර්‍ය කරන්නේ කලාතුරකිනි, එයද පවුලේ වැඩිහිටි පිරිමි අයවලුන් නොමැති අවස්ථා වලයි. මෙයද සම්ප්‍රදායෙන් බැහැර වෙමින් කාන්තාවට කළ හැක. එහෙත් සම්ප්‍රදාය මත හිතන පතන පිරිස තවමත් වැඩි බැඇවින් එවැනි වෙනසක් උවමනාවෙන් කළ නොහැක. එයට බාධාවක්ද ඇතැයි සිතීමටද බැරිය.
                              
    කතාකිරීමට වැදගත් වන අනෙක් චාරිත්‍රය නම් හිස තෙල් ගෑමයි. එහිදී බොහෝ විට මේ චාරිත්‍රය කරනු ලබන්නේ හාමුදුරුනමක් හෝ ගමේ වෙදමහතා මූලිකත්වය ගෙනයි. එහිදීද සම්ප්‍රදායිකව මුල් වන්නේ පුරුෂ පාර්ශවය වන අතර කාන්තාවන් තව දුරටත් සම්ප්‍රදාය තුල කොටු වෙමින් පුරුෂයා ප්‍රභූත්වයට පත්වෙයි. සම්ප්‍රදායෙන් බැහැරව මේ කටයුත්තද නවීකරනය කළහැක. ඒ දේශීය වෛද්‍ය විද්‍යාව කාන්තාවන්ද මෙකළ හදාරන බැවින් හා වෙද මහත්වරුන්ට අමතරව වෙදහාමිනේලාත් ටික දෙනෙක් හෝ සිටින බැවින් වෙද මහත්වරුන්ට මෙන්ම වෙද හාමිනේලාටද එම කාර්‍ය කළහැකි නිසයි. ඒ අනුව කාන්තාවන්ටද හිසතෙල් ගෑමේ චාරිත්‍රයේදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට අවස්ථාව ලබාගනිමින් එය කාලානුරූපීයව නවීකරනය කළ හැක.
                              ඕනෑම දෙයක් කාලයත් සමග වෙනස් වේ. වෙනස් වනවා පමණක් නොව නවීකරනයට බඳුන්වේ. එහිදී චිරාගත සම්ප්‍රදායන් ලොව කොතැනත් වෙනස්කම් හා නවීකරනයන්ට භාජනය වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ විෂමතා තුරන් වන ආකාරයටයි. එක් අතකට අප අවුරුදු චාරිත්‍ර වුවත් කරතබාගෙන යායුතු නැත. මන්ද වත්මන් කාර්‍ය බහුල සමාජයට මේ චාරිත්‍ර කරමින් කාලය ගතකිරීමට ඉඩ ප්‍රස්ථාව අඩු නිසා. මේ චාරිත්‍ර වැදගත් යැයි සම්මතයක් තවම තිබෙන බැවින් ඒවා නවීකරනයට භාජනය වියයුතු බව මෙහිදී නැවතත් මතක්කර දෙන්නට කැමතියි.

Sunday, April 6, 2014

නීතීඥ නිමල්කා ප‍්‍රනාන්දු

පුරුෂාධිපත්‍යට එරෙහිව අභීතව හා අව්‍යාජව හඬ නැගූ ගැහැනිය.



මෙම සාකච්චාව නීතීඥ නිමල්කා ප‍්‍රනාන්දු 2008 නොවැ-දෙසැ


 ‘ත‍්‍රිමාන’ සඟරාව සමඟ පැවැත්වවූකි.


ඔබට ලංකාවේ ස්ත‍්‍රිය හා 


පුරුෂයා ගැන තියෙන්නේ 



මොනවාගේ අදහසක්ද? 


හරි ලස්සන මාතෘකාවක් කියලා මං හිතනවා. ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ගැන කතා කරද්දී හරිම ගතානුගතික චිත‍්‍රයක් තමයි මට මැවෙන්නේ. අධ්‍යාපනය අතින් හා සාක්ෂරතාව අතින් කොතරම් අපේ සමාජය දියුණුයි කිව්වත්, මම නම් අත්දැකීමෙන් දන්නවා ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ඉතාම ගතානුගතික, වැඩවසම් හා පසුගාමී චින්තනයකින් අනුන දෙන්නෙක් කියලා. කොළඹ නගරය තුළ කොතරම් මෝස්තර අනුගමනය කරනවා අපි දුටුවත් මේ අය තුළ තිබෙන සංස්කෘතික මතිමතාන්තර ඉතාමත් පසුගාමීයි.

ලංකාවේ මහපාරට බැස්සම අපට පෙනෙන ස්ත‍්‍රීන් හා පුරුෂයන් හරියට නිව්යෝර්ක්, පැරිස් හා ලන්ඩන්වලින් බැහැපු අය වගේ. සියලූ දෙනාම මොඞ්. සේරම සමානයෝ. මේක කොහොමද තේරුම් ගන්නේ ?
මොඞ් ගතිය තියෙන්නේ ඇඳුමෙන් විතරයි. අභ්‍යන්තරය මොඞ් නැහැ. මං කියන්නේ 70 දශකය මීට වඩා මොඞ්. අපි අද මෙවැනි ක‍්‍රියාකාරීත්වයක ඉන්නේ ඒ වකවානුවේ තිබුණු ඒ තත්ත්වය නිසයි. නමුත් අද පරම්පරාවේ ස්ත‍්‍රීන් හා පුරුෂයින් මේ මෝස්තර ආරූඪ කරගන්නේ, තවර ගන්නේ, අනුකරණය කරන්නේ තමන් නොමැති පන්තියක ඉන්නවා කියා පෙන්වන්න. මේ පන්තිකරණය ව්‍යාජයක්. හැට ගණන් වල අපිත් පන්තියෙන් පිට පැනීම සඳහා ගමට ගියා. ග‍්‍රාමීය ගොවියන් සමඟ කටයුතු කළා. මම පවා එදා ඇඳුමෙන්-පැළඳුමෙන් එවැනි වෙනසක් ඇති කරගත්තා. පසුව අපි ව්‍යාපාරගතවීමත් එක්ක අපේ ජිවිතවල සැබෑව මතුකර ගැනීමට ඒ වෙනස ඉවහල් වුණා. නමුත් මේ තියෙන මොඞ් ගතිය තුළ අපේ ස්ත‍්‍රීන් සහ පුරුෂයන්ගේ ඇඳුම හැර ඔවුන් තුළ හරයාත්මක බවක් නැහැ. අපේ මොඞ් නළුවෙකුගෙන්, නිළියකගෙන් ඇහුවොත් මොකක්ද ජීවිතයේ පරමාර්ථය කියලා ඔවුන් කියන්නේ, ‘හොඳ බිරිඳක් හෝ හොඳ ස්වාමි පුරුෂයෙක් වෙලා දරුවන් හදා ගෙන තමන්ගේ නිවහනක ජීවත්වීම කියලා. කලාව කියන්නේ මොකක්ද කියාවත් මේ අය දන්නේ නැහැ. ඇඳුමෙන් සමානයන් වී පන්ති පරතරය බොඳවීම මම දකින්නේ ධනාත්මක දෙයක් ලෙස. ඒ ලිබරල්කරණයට මං කැමතියි. නමුත් ගැටළුව වෙන්නේ ඒ මොඞ්වීම ඇතුළාන්තයට නොයෑම.

ඔබ විශ්වාස කරන ආකාරයට ස්ත‍්‍රිය හා පුරුෂයා පැමිණෙන්නේ, ලෝක දෙකකින්ද නැතිනම් එකම ලෝකයක් තුළ ඉන්න එහෙත් එකිනෙකාගෙන් වෙනස් බව පෙන්වීමට උත්සාහ කරන අනන්‍යතා දෙකක් විදිහටද?
ඇත්තටම ස්ත‍්‍රිය හා පුරුෂයා එන්නේ ලෝක දෙකකින්. හේතුව තමයි ඔවුන්ගේ ජීව විද්‍යාත්මක වෙනස ඔවුන්ගේ මානසික ක‍්‍රියාකාරීත්වයට බලපානවා. ඒ නිසා අනිවාර්යෙන්ම දෙන්නා එන්නේ ලෝක දෙකකින්. මම හිතන්නේ ඔවුන් යම් සම්මුතියකට එන්න අනන්‍යතා දෙකක් වෙනුවට එක් අනන්‍යතාවක් හදා ගන්න උත්සාහ කරනවා කියලයි. තරුණ තරුණියෝ කියන්නේ අපි එකා වගේ ඉඳිමු කියලයි. ඒක එක්තරා විදියකට සුන්දර සිහිනයක්. නමුත් තම තමන්ගේ හැසිරීම් රටාවන් සහ අනන්‍යතාවන් වෙනස් වෙන්නේ නැහැ. මේ දෙන්නා අතර සබඳතාවයකදී එකඟවෙමින් යම් සම්මුතිගත වීමක් සිදුවෙනවා එච්චරයි. ජිවිතයේ පනස් විය පසු කරන අවස්ථාවේදී මට කියන්න පුළුවන් ඒ එක වගේ කියන කාරණය මීට වඩා යථාර්ථවාදීව සිතිය යුතුයි කියලා. අපි හදාගත යුත්තේ එක වගේ එකකට වඩා නිර්මාණාත්මක පසුතලයක්.
මොකක්ද ලිංගික වෙනස කියන්නේ. Antagonism හෙවත් පසමිතුරුතාවක්ද එහෙම නැත්නම් contradiction හෙවත් ප‍්‍රතිවිරෝධයක්ද?
නෑ මං දකින්නේ එය Antagonism එකක් විදිහට නෙමෙයි. contradiction එකක් විදියටත් නෙමෙයි. complementary එකක් විදිහට. පිරිමියෙක් ලිංගිකත්වය සම්බන්ධයෙන් හෝ පිරිමියෙක් ලබන්නා වු ආශ්වාදය ගැහැනියකගේ ලිංගිකත්වය පිළිබඳ තියෙන්නා වූ ආශ්වාදය කියන්නේ පැහැදිලිවම තත්ත්ව දෙකක්. ඒ නිසා බොහෝ විට Antagonism එකක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. නමුත් එය කර ගන්න පුළුවන් නම් තමයි එහි තිබෙන්නා වූ සාර්ථකත්වය තියෙන්නේ.
පේන්න තියෙන විදිහට රටේ සිදුවන බරපතල අවමානුෂිකකරණය ඉදිරිපිට ස්ත‍්‍රීන් නිහඬයි. පාරට බැස්සම පේන්නේ පවතින ක‍්‍රමයට ඔවුන් පක්ෂපාතී වන ආකාරයක්. ස්ත‍්‍රීන්ගේ මේ වෙළෙඳපොල හරහා උපුටාගත් බාහිර අලංකාරණයෙන් පිරිමින්ද මුසුපත් වී ඇති බවක් පෙනෙනවා. මේ පිළිඹිබුව, ස්ත‍්‍රීවාදයේ තාර්කික අවසානයකට අප පැමිණ තිබෙන බවද?
මම හිතන්නේ නැහැ. ස්ත‍්‍රීවාදය කියන කාරණාව මමවත් තවමත් හරිහැටි තේරුම් ගත්ත තැනක නෙමෙයි ඉන්නේ කියලා මම මේ ප‍්‍රශ්නයට උත්තර දෙන්න ලෑස්තියි. අවාසනාවකට ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම්, ස්ත‍්‍රී විමුක්තිය හා ස්ත‍්‍රීවාදය සම්බන්ධයෙන් අප අතර තිබිය යුතු ඒ තාර්කික තේරුම් ගැනීම, අත්දැකීම් හරහා එය අත්වීඳීම කියන කාරණා ගත්තොත් අපි හැමෝම එක් එක් තලවල සිට එහි ස්වභාවයන්, අර්ථනිරූපණය කිරීමට දරපු වෑයමක්. ඒ නිසා කෙනෙක් ලස්සන වීම කියන එක ස්ත‍්‍රීවාදය හා කාරණයක් නෙමෙයි. ස්ත‍්‍රී අලංකාරයට මුසපත් වෙන්නේ පිරිමිනේ. ඇයි පිරිමි මුසපත් වෙන්නෙ. අහක බලාගෙන යන්න පුළුවන්නෙ.

ස්ත‍්‍රීන්, පිරිමින්ගේ වහල්ලූ වූ යුගය අවසන්වී පිරිමීන්, ස්ත‍්‍රීන්ගේ වහල්ලූ බවට පත් වී ඇති යුගයකට අපි අවතීර්ණ වී ඇතැයි අපි පුරුෂාධිපත්‍යයෙන් යුතුව ප‍්‍රකාශ කළහොත් මොකක්ද ඊට ඔබ දක්වන ප‍්‍රතිචාරය?
ඇත්තටම පවුල කියන මුළු ඒකකයම වහල් කඳවුරක්. එය ලතින් භාෂාවෙන් ‘ෆැමිලියා’ නේ. පුරුෂයා ස්ත‍්‍රියට වහල් වීමත්, ස්ත‍්‍රිය පුරුෂයාට වහල් වීමත් පවුල් ඒකකය තුළ අනිවාර්යයක්. එහි අඩුවැඩි වීම ඒ ඒ පවුලේ බලතුලනය අනුව සිදුවන්නක්. එහි ආධිපත්‍යය අනුව සිදුවන්නක්. මේ ස්ත‍්‍රිය සහ පුරුෂයා අතර තිබෙන වහල්භාවය නැති කරන්න තමයි අප මේ ස්ත‍්‍රීවාදය කියන සංකල්පය ඉස්මතු කරන්නේ. මටත් ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඉදිරියට තියෙනවා.

ධනවාදී වෙළෙඳපොළ ලිංගික වෙනස සමජාතීයකරණය කරමින් ඉන්නවා. එය විසින් ගැහැනුන්, පිරිමින් කරන අතර පිරිමින්, ගැහැනුන් කරමින් ඉන්නවා. මෙහිදී අවශ්‍ය වෙන්නේ පිරිමි සහ ගැහැනුන් අතර වෙනස සඳහා සටන් කිරීම ද නැතිනම්, ලිංගික වෙනස සමානාත්මතාවක් වන තෙක් සටන් වැදීම ද?
නෑ. ලිංගිකත්වය කියන එක අපට සම කරන්න බැහැ. ලිංගිකත්වය යොදා ගැනීම සම්බන්ධ කාරණාව ගත්තොත්, කාන්තාවන් ලිංගිකත්වය තුළින් ආශ්වාදය ලබා ගැනීම සහ පුරුෂයා ආශ්වාදය ලබා ගන්නා ආකාරය අතර යම් පරතරයක් තිබෙනවා නම්, එය සම්බන්ධයෙන් තියෙන අභියෝගයන් තමයි අපිට ඔතනදී සාකච්ඡා කරන්න වෙන්නේ. ගෝලීයකරණය හෝ මුලධර්මවාදය හෝ මේ කියන ඒකාකාරී සංකිර්ණ මහා ක‍්‍රියාවලිය තුළින්ම තමයි මේ ස්ත‍්‍රිය හා පුරුෂයා තුළ ඔබ මතු කළ විපරීත ස්වභාවය මතුවෙන්නේ. එය තේරුම් ගැනීම සඳහා වන දෙයක් විධියටයි මම මේ ප‍්‍රශ්නේ දිහා බලන්නෙ. ස්ත‍්‍රීන්, පුරුෂයන් බවට පෙන්වීම හෝ පුරුෂයන්, ස්ත‍්‍රීන් ලෙස පෙන්වීම හෝ කියන්නේම මේ ගෝලීය ධනවාදී තරඟකාරී වෙළෙඳපොළ හසුරුවා ගැනීම සඳහා විවිධ විලාසිතාවන් අතර ඇතිවන්නා වූ තරඟයක් හැටියට මිස ලිංගිකත්වයේ වෙනසක් ඇති කරන්න හදන දෙයක් ලෙස නෙමෙයි.

ඔබ වඩාත් කැමති ගැහැනුන් සහ පිරිමි එක වගේ වෙනවටද එහෙමත් නැත්නම් ඔවුන් අතර ප‍්‍රතිවිරෝධතා හා ගැටුම් තියෙනවටද ?
මං කැමතියි ප‍්‍රතිවිරෝධතා හා ගැටුම් තියෙනවා නම්. මොකද ඒ ප‍්‍රතිවිරෝධතා තුළින්ම තමයි නිර්මාණාත්මකභාවයක් ඇතිවන්නේ. එක වගේ වුණාම හරි ඒකාකාරියිනේ. මම, මම වන අතරම මම කැමතියි මා සමඟ සම්බන්ධ වන පුරුෂයා ඔහු, ඔහු වෙනවට. අපි අතර පවතින සම්බන්ධතාවය තුළ ඒ නොගැලපීම හා ගැටුම් නෙගෝසියේට් කර ගන්න ඕනේ. හැබැයි පිරිමින්, පිරිමි වෙන්න ඕන කියන එකෙන් මං අදහස් කරන්නේ, ඔවුන් තුළ පුරුෂාධිපත්‍යය තිබිය යුතුයි යන්න නොවෙයි.ආධිපත්‍යභාවය පිරිමියා තුළ පමණක් නෙමෙයි ගැහැනිය තුළත් තිබිය යුතු නැහැ. ගැහැනිය රැකියාවට ගියාම පිරිමියා කරන්නේ ටෙලිෆෝන් කර කර මොනිටර් කරන එක. ගැහැනිය කරන්නේත් එයමයි. ඉතින් ලංකාවේ අපි මේකට කියනවා පවුල කියලා. දෙන්නම ඉන්නේ කූඩු වෙලා. ඒ නිසා අපි ඉන්නේ ‘ෆැමිලියා’ තුළ.
ස්ත‍්‍රිය පිළිබඳව ග‍්‍රාමීය පිරිමින්ට ඇති රත්නවල්ලි කුතුහලය සහ ලිංගික නිවටකම ගැන ඔබේ අදහස මොකක්ද ?
ඔය ප‍්‍රවාද කියන්නේ ගැහැනියගේ ලිංගිකත්වය තියෙන්නේ තමන් සතුව යැයි කියන මහා ප‍්‍රවාදය තුළනේ. ගැහැනියගේ ලිංගිකත්වය පවතින්නේ පුරුෂයාගේ ආශ්වාදය සඳහාය යන්න තමයි මහා ප‍්‍රවාදයේ අදහස. මේක මට මතවාදයක් හැටියට පිළිගන්න බැහැ. නමුත් කාන්තාවකගේ ලිංගිකත්වය ඇයට අයිති නොවන බව නම් මට කියන්න වෙනවා. ස්ත‍්‍රීවාදය තුළින් මතු කරන්නේ අපේ ලිංගිකත්වය අපට අයිතියි, අපේ ඇඟ අපට අයිතියි, එය හසුරුවා ගැනීමේ අයිතිය අපට තිබිය යුතුයි යන්නයි. ඒ නිසා අර රත්නවල්ලි කතාවේ ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ, අපේ සාරය අපි කාටහරි දීලා. ස්ත‍්‍රී සාරය ඒ නිසා අපි ළඟ නැහැ. එය නැවත අපි ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ කාරණය තමයි අපි මතුකර ගන්න ඕනේ. නිදර්ශනයක් විදිහට මම ඊයේ-පෙරේදා හින්දුන්ට සම්බන්ධ Divine Goddess කියන පොත කියෙව්වා. එහි සාකච්ඡා කරන්නේ රාධා-ක‍්‍රිෂ්ණා කතාන්දරයේ රාධාගේ චරිතය හා විෂ්ණුගේ බිරිඳගේ චරිතය. එය තනිකරම හින්දු මතවාදය මත ගොඩ නැගුවක්. මෙහි රාධා-ක‍්‍රිෂ්ණා සමව තබන අතර විෂ්ණු තමන්ගේ බිරිඳ පාදස්ථානයේ තබා ගන්නා බව හඟවනවා. ඒ කියන්නේ හින්දු-බමුණු වැඩවසම් සමාජය තුළ ගැහැනියකගේ සාරය තිබුණේ පුරුෂයා ළඟ. මං හිතන්නේ රත්නවල්ලි හා මෙය සමානයි.

ඇමෙරිකානු මැතිවරණ කි‍්‍රයාවලියට මෙවර සහභාගී වී ඇති සාරා පාලින් ඉදිරිපත් කරමින් සිටින්නේ ක‍්‍රිස්තියානි මුලධර්මවාදයක්. ලංකාවේ DAILY MIRROR කතුවරිය ඉංග‍්‍රීසි කතා කළත්, පන්තිය නාගරික වුවත්, ඇගේ පක්ෂය හෙළ උරුමයයි. හුඟක් ගැහැණුන් ප‍්‍රසිද්ධියේ නොවුණත් හදවතින් ම ජාතිවාදීයි. යුද්ධයට පක්ෂයි. සමාජ ක‍්‍රියාකාරිනියක් හැටියට ඔබ මේ නස්පැත්තිය තේරුම් ගන්නේ කොහොමද?
ඉහත කතුවරිය වගේ මේ සමාජයේ බොහෝ ගැහැනු මිනිසුන්ගේ contradiction එක එහෙම නැතිනම් ප‍්‍රතිවිරෝධය මම දැකලා තියෙනවා. පොදුවේ මට තියෙනවා ඔය කිව්ව දේට විරුද්ධත්වයක්. ඇත්තටම අපි වැඩ කරන ඈත ගම්වල ඉන්න අහිංසක, අසරණ ගැහැනු තුළ ඔහොම දෙයක් මම දැකලා නෑ. බලය සමඟ ගනුදෙනු කරන නාගරික කාන්තාවන් තුළ තමයි ඔය කියන ප‍්‍රතිවිරෝධය තියෙන්නේ. මම ගම්වල වැඩ කරද්දි හමුවන දයා එහෙම නැහැ. ශීලා එහෙම නැහැ. ගුණවතී එහෙම නැහැ. කොළඹ මධ්‍යම පාන්තික දිවිපෙවෙත් ගත කරන ගැහැනුන් නම් රාජපක්ෂගේ බලයෙන් උණුසුමක් ලබා ගන්න උත්සාහ කරනවා.


මේ ධනවාදී සංස්කෘතිය යුගයේ ස්ත‍්‍රී නිදහස වෙනුවෙන් හඬ නඟනවා කියන්නේ, පිරිමින්ගේ ගොදුරක් කියා කෑගැසීමද? නැතිනම්, මීට වඩා හොඳ සමාජ ක‍්‍රමයක් වෙනුවෙන් සටන් කිරීමද?
කාන්තා විමුක්තිය කියන වචනය අපේ ප‍්‍රවාද තුළින් බැහැරව තිබෙන සමයක මම තවමත් කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ එහි ගැඹුරුතම දේශපාලන අර්ථය තේරුම් ගත් අයෙකු නිසා. මම වාමාංශික ක‍්‍රියාදාමයකින් ආ නිසා විමුක්තිය කියන වචනය මම මුලින් ම ඇහුවේ පන්තිය කියන වචනයත් එක්කයි. මගේ දේශපාලනය හා සමාජ අත්දැකීම් තුළ මම විමුක්තිය කියන්නේ සමස්තයේම නිදහස කියන අර්ථයෙන්. එය පන්තියට සීමා කරන්න බැහැ. නමුත් සංක‍්‍රමණීය තත්ත්වය තුළ මම කැමතියි ලිබරල්වාදී ඇප්‍රෝච් එකක් තුළ ගමන් කරන්න. මට බැහැ මුළු සමාජ පෙරළියක් එනකං ඉන්න. නමුත් මගේත් අවසාන අරමුණ සමාජ පෙරළියක් තමයි

Saturday, March 8, 2014

කාන්තා දිනය තුල සැබෑ ලෙස කාන්තා උද්‍යේගයක් තිබුණාද?


තවත් එක් කාන්තා දිනයක් කිසිදු උද්‍යෝගයකින් තොරව ඈලිමෑලි දියාරු ගතියකින් ගෙවී ගියේය. මේ ගැන යමක් නොකියා සිටීමට අදහස් කර පසුව යම් කිසි දෙයක් කීමේ අදහසක් සිතට නැගුනේ සැබවින්ම මෙය අවාසනාවන්ත තත්වයක් ලෙස මට හැඟී ගිය නිසයි. ඇත්තෙන්ම කාන්තා විමුක්ති ව්‍යාපාරයන් කාන්තා නිදහස අගය කරන සමාජ බලවේග හා සිවිල් සංවිධාන මෙදා කාන්තා දිනයට රටට දැනෙන යමක් කිරීමට තබා සමාජයට යම් පණිවිඩයක් දෙන වැදගත් ප්‍රකාශයක් කිරීමට හෝ අසමත් වීම බෙහෙවින් කනගාටුදායකය. මේ තත්වය හමුවේ කාන්තාවන්ගේ ප්‍රගතිය හා නිදහස වෙනුවෙන් කළයුතු අරගලයකට මුලපුරන යම්කිසි ගැම්මක් ඇතික්කරවියහැකි වැඩපිළිවෙලකට මුලපිරීමට තිබූ අවස්ථාවක් ඔහේ නිකම් මගහැරී ගියේය. වෙනත් වසර වලදීනම් කතා කිරීමට කාන්තා ප්‍රශ්නද බොහෝ තිබුණි එහෙත් මේ වසරේ ප්‍රශ්න නැති උනාද? ඇත්තෙන්ම උනේ ප්‍රශ්න වැඩි වුවත් ඒ ගැන නිසි උනන්දුවක් නොදැක්වීමය. සියල්ලට වඩා කනගාටුදායක දෙයක් උනේ ජනමාධ්‍ය වලින්ද සුපුරුදු පරිදි කාන්තා වැඩසටහන් කිසිදු සටන්කාමී එඩිතර ආකාරයකින් පුරුෂාධිපත්‍යට එරෙහිව නැගීසිටීමට වඩා කිසිම පනක් නැති ආකාරයට මෙහෙයවීමයි.
                              

           කාන්තා විමුක්ති ව්‍යාපාරයන් බටහිර රටවල එලිබැසපු මුල් යුගවල ඒ ගැන කොපමණ උද්‍යෝගයක් තිබුණාද? එම රටවල කාන්තාවන් අද කොපමණ ප්‍රගතියක් අත්කරගෙන ඇත්ද? ඇත්තෙන්ම බටහිර සමාජයේ මේ පිළිබඳ කතිකාවතක් ගොඩනැගුනු මුල් යුගයේ පුරුෂාධිපත්‍ය ගැන විවේචන එල්ල උනා පමණක් නොව කාන්තාවන් සංවිධානාත්මකව හා ඉතාමත්ම ක්‍රියාකාරී ලෙස දැඩි උද්‍යෝගයකින් පුරුෂයාගේ ආධිපත්‍යට එරෙහිව සටන් කිරීමක්ද දක්නට ලැබිනි. එකළ කාන්තාවෝ දහස් ගණනින් පාරට බැස උද්ගෝෂණයන්හි නිරත විය. බොහොමයක් කාන්තාවෝ නිවෙස්වල ස්වාමි පුරුෂයන්ගෙන් සිදුවන අඩන්තෙට්ටම් වලට එරෙහිව ප්‍රබල හඬක් නැගුවෝය. තවත් විශාල පිරිසක් කාන්තා විලාසිතා වලට එරෙහි වූයේ එහි සැබෑ පසුබිම පුරුෂයාගේ කාම තෘප්තිය බවත් ඉන් කාන්තාවන්ට පිරිමින් පරයා නැගී සිටීමට ඇතිවන්නේ බාධාවක් බවත් හොඳින් තේරුම් ගනිමිනි. බොහේ කාන්තාවන් ගෘහණියන් ලෙස කුස්සියටත් හැඳිමිටටත් සීමා වී තිබූ ජීවිත වලට නැවතීමේ තිත තබමින් ඉන් ඔබ්බට ගොස රැකියාවල නිරතවූයේ සම්ප්‍රදායික ලෙස පිරිමින්ට සීමා වූ රාජකාරි වලටද ඇතුලත් වෙමිනි. 
                              
                       
       
                         දෙවන ලෝක යුද සමය කාන්තාවන්ගේ විමුක්ති මාර්ගය විවුර්තකළ කාලපරිච්ඡේදය විය. එසේ වූයේ ඇමරිකාවේ යුධ නීතිය යටතේ පිරිමින් සියල්ලන්ට යුධ සේවය අනිවර්ය වී කාන්තාවටද කම්හල් රැකියා විවුර්ත වීම තුලිනි. ඒ තුලින් කාන්තාවන් කර්මාන්තශාලා වල විශාල ලෙස විවිධ රාජකාරිවල නිරත වුනත් ඔවුන්ට ලැබුණේ පිරිමින්ට සාපේක්ෂව අඩු වැටුපකි. කාන්තාවන්ට වූ මේ අසාධාරණයට එරෙහිව ඔවුන් සංවිධානය වී අරගල කරන්නට ඉදිරියට ආවේ මේ කාලවකවානුවේදීය. කාන්තා විමුක්ති ව්‍යාපාරයේ ප්‍රභලම පියවර ලෙස ඉතිහාසගත වන්නේද මේ ක්‍රියාවයි. එතැන් පටන් ඉදිරියට ගිය කාන්තා විමුක්ති ව්‍යාපාරය බටහිරදී බොහෝ ජයග්‍රහණයන් අත්පත් කරගනිමින් අදටත් නොනවත්වා ඉදිරියට ඇදෙයි. අද බටහිර කාන්තාවන්ට කළ නොහැකි යමක් නැත. මේ වනවිට බොහෝ බටහිර මෙන්ම ජාත්‍යන්තර සංවිධාන වල වැදගත් තනතුරු බොහොමයක් කාන්තාවන් විසින් හොබවනු ලබයි. අද ලොව බොහෝ අධ්‍යාපන ආයතන වලද ඉගෙනීම ඉහලටම යන්නේ කාන්තාවන්ය. බටහිර සමාජය සලකා බැලීමේදී බොහෝ බටහිර රටවල පවුල තුලද සැමියාගේ හිතූමනාපයට බිරිඳ පාලනය කළ නොහැක. අද එම රටවල කාන්තාවන් තමන්ට රිසිසේ ඕනෑම කටයුත්තක් කරමින් ඉතා ඉහල නිදහසක් බුක්තිවිඳිති. ඒ සියල්ලට මනා පිටුවහලක් ලැබෙන්නේ කාන්තාවන්ගේ රැකවරනය වෙනුවෙන් පනවා ඇති නීති රීති බටහිර රටවල ඉතා දැඩි වීමයි.
                          කාන්තා විමුක්ති ව්‍යාපාරය ප්‍රගතිශීලී ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකාවට දැනට කලකට පෙර හන්දුන්වාදෙනු ලබුවත් එයින් සතුටුදායක ප්‍රතිඵල අත්වූයේ යැයි සිතීම අපහසුය. කෙසේ වුවත් එයින් මේවනවිට යම්කිසි යහපත් ප්‍රතිඵලයක් අත්වී නැතැයි කීමටද නොහැකි වේ. කාන්තා විමුක්ති ව්‍යාපාරය රට තුල වඩා ශක්තිමත් වූයේ ගරු චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනිය මෙරට ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස රටේ පාලනය හෙබවූ අවධියේයි. එවකට කාන්තාවන්ගේ රැකවරනය වෙනුවෙන් බොහෝ නීති සම්පාදනය විය. එසේම කාන්තාවන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සම්ප්‍රදායෙන් මිදී නූතන යුගයට ඔබින ලෙස බොහෝ වැඩසටහන් කෙරිනි. විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව යම් මට්ටමකට බොහෝ ක්‍රියාකාරකම් වල නිරත වීමට සාපේක්ෂව වැඩි නිදහසක් කාන්තාවන්ට මේ අවධියේ අත්විනි. ඉන්පසුවට කුමාරතුන්ග මැතිනිය ජනපතිනියව සිටියදීම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වෙමින් බිහිවූ රජය මගින්ද කාන්තාවන්ට යම් පමණක සේවයක් සිදුවුණේ ජාත්‍යන්තරයේද සිත් දිනාගනිමිනි.
                                      මේ සියල්ල හමුවේ අද වනවිට පවතින තත්වය කුමක්ද? එය කාන්තාවන්ටත් කාන්තා විමුක්ති ව්‍යාපාරයටත් හිතකරද? මෙය සැබෑවටම ප්‍රශ්නාර්ථයකි. චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියගේ සමයේ කාන්තාවන්ගේ රැකවරනය වෙනුවෙන් ලිංගික අතවර වල විවිධාකාර ස්වරූපයන්ට එරෙහිව තැනුනු නීති අද වනවිට ඒ තරම් සාර්ථකව ක්‍රියාත්මක නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි අවධියේ කාන්තා හින්සනයට හා ගෘහ ප්‍රචන්ඩත්වයට එරෙහිව පැමිණිලි භාරගෙන නීති ක්‍රියාත්මක කිරීමට ස්ථාපිතකළ පොලිස් ඒකක හරි හැටි ක්‍රියාත්මක නොවන බවක් ඒ මහතාද කියා තිබුණි. කාන්තාවන්ගේ ප්‍රගතිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහන් මේවනවිට ඉදිරියට ඇදෙන්නේ ඉතාම මන්දගාමීවයි. මෙවර කාන්තා දිනයේදී අප දැක්කේද එයයි. කාන්තා දිනයටද මෑතක සිට සිදුවන්නේ සම්ප්‍රදායික ගෘහණියන් හා මවුවරුන් ඉලක්ක කරගෙන කරන වැඩසටහන්ය. සම්ප්‍රදායික ගෘහණියන්ට තවත් වටිනාකම් ලබාදීම පුරුෂාධිපත්‍යටම රුකුල් දීමක් නොවෙයිද? අනෙක කාන්තාවන් පුරුෂයාගේ කාමවස්තූන් බවට පත්කරවන ඔවුන්ගේ මානසික ධෛර්ය අඩපන කරන විලාසිතා ආදිය ප්‍රදර්ශනය කරමින් කාන්තා විමුක්ති ව්‍යාපාර කිරීමේ අර්ථයක් නැත. අප මෙවර කාන්තා දිනයට දුටුවේද පුරුෂයාට වහල්කම් කරමින් පුරුෂාධිපත්‍යයේ මනදොල සපුරන සම්ප්‍රදායික ගෘහණියන්ගේ හා ළමයි වදමින් ඒ වෙනුවෙන්ම ජීවිතය කැප කරන සම්ප්‍රදායික මවුවරුන්ගේ කියුම් කෙරුම් මිස සැබෑ කාන්තා විමුක්තිය හා ප්‍රගතිය කරා යන ප්‍රගතිශීලී කාන්තා වැඩසටහන් නොවේ. මෙය කෙලින්ම කිවයුතුයි. කාන්තාවන් වෙනුවෙන් හඬ නැගීමට ඉදිරිපත්වන පුවත්පත් ඇතුලු බොහොමයක් මාධ්‍ය මෙවර කාන්තා දිනයේදී ඒ වෙනුවෙන් එතරම් උනන්දුවක් ඇතිව හඬ නොනැගීමද සැබවින් කනගාටුදායකය.          



Saturday, March 1, 2014

වැලන්ටිනා තෙරස්කෝවා, මෙයා ගැන අහලා තියෙනවද?



වැලන්ටිනා තෙරස්කෝවා තමයි ලොව මුලින්ම අභ්‍යාවකාශ තරනයට ගිය කාන්තාව හැටියට ඉතිහාසගත වන්නේ. ඇය සෝවියට් දේශයේ
උපන් කාන්තාවක් උනා. ඒවගේම තවත් වැදගත් කාරනා රාශියක් ඇය වටා ගොනු වෙනවා. ඇය සෝවියට් රුසියානු ගුවන් හමුදා සාමාජිකාවක්ද උනා. වැලන්ටිනා තෙරස්කෝවා මේ ජය මාවත කරා ගියේ කාන්තාවක් හැටියට එවකට සමාජයේ තිබුන අභියෝග විශාල ප්‍රමාණයක් ජයගනිමින්.

           මෙහි අපට හිතන්නට කරුණු ගනනාවක් ඇතැයි මම සිතමි. ඉන් ප්‍රධාන දෙයනම් කාන්තාවන්ට ලොව අභියෝග ජයගෙන ඉදිරියට යා නොහැකිද යන්නයි.ඇත්තෙන්ම කාන්තාවන් ජීවිත වල බොහෝ බාධක තනාගන්නේ තම මනස තුලමයි. මේ අභියෝග ජයගත හැක්කේත් ඒ මානසිකව ගොඩනගාගත් බාධක ජයගැනීමෙන්. ඒ බව වැලන්ටිනා තෙරස්කෝවා චරිතයෙනුත් මනාවට ඔප්පු වෙනව.ලොව මෙවන් වීර කාන්තා චරිත අප රටේ කාන්තාවන්ටද නොමද ආදර්ශයක් සපයන බව කිවයුතු වැදගත් දෙයයි.

                                                      

Friday, January 17, 2014

ස්තී‍්‍ර විමුක්තියේ නව කතිකාවකට පෙර…

ස්තී‍්‍ර විමුක්තියේ නව කතිකාවකට පෙර…


Rate This

ස්ත‍්‍රී විමුක්තියේ නව කතිකාවකට පෙරලාංකේය තිස් වසරක යුද්ධය නිමා වූයේ එතෙක් පැවති කතිකාමය ලෝක දැක්ම පවා ව්‍යුහාත්මක පරිවර්තනයකට ලක්කරමිනි. බහුවිධ පීඩිත විමුක්තීන්ගේ අරගල සන්දර්භයන් පවා නව සුසමාදර්ශී විතැන්වීමක් ඉල්ලා සිටින ඛණ්ඩනීය ඓතිහාසික නිමේෂයක් ලෙසට මෙම මොහොත හඳුනා ගත හැක. මෙම මොහොත වනාහි නව කතිකා, නව මතවාද, නව දේශපාලන බලවේග ගොඩ නැගීම වෙනුවෙන් එතෙක් පැවති කතිකාමය පොළොව පරිවර්තනීය පෙරළියකට ලක්කර තිබෙන අවස්ථාවක් ලෙස ද හැඳින්විය හැක. පීඩිත විමුක්ති දේශපාලන අර්ථයෙන් ගත් විට ස්තී‍්‍ර දේශපාලනයටද මෙම සුවිශේෂී අවස්ථාව අදාළ වේ. පැරණි ස්තී‍්‍රවාදී කතිකා වෙනුවට නව කාල අවකාශ නිමේෂය සංයුක්තව වටහාගත් නව අරගල ව්‍යවහාරයන් ගොඩනැගීමේ අවධියකට අපි සේන්දු වී ඇත්තෙමු. එවැනි නව ස්තී‍්‍ර විමුක්ති කතිකාවන් ගොඩනැගීමේ ප‍්‍රවේශයක් සඳහා පළමුව ස්තී‍්‍රන්ගේ සමාජය නියෝජනය පිළිබඳව වන ලාංකේය පුරා කතාව වටහා ගැනීම අත්‍යාවශ්‍යව ඇතැයි මම සිතමි. මේ සටහන යනු එම දීර්ඝ කාර්යය සඳහා වන මුල පිරීමක් ලෙස ද හැඳින්විය හැක.


ඉතිහාසය දෙස හැරී බැලීමේදී අපට දෘශ්‍යමාන වන සත්‍යය වන්නේ සමාජය යනු ගොඩනැංවීමක්ය යන්නයි. මෙය අතීතයේ සිට වර්තමානය දක්වා අඛණ්ඩව ගලා ආ ප‍්‍රවාහයක් නොවන අතර එය ඛණ්ඩනීය නිමේෂයන්ට අභිමුඛ වී නිර්මාණය වන හා නැවත නිර්මාණය කළ හැකි පාර්ශවීය ගොණුවක් ලෙස හැඳින්විය හැක. සමාජය පවතින යථාර්තයක් බවට පත් කරන්නේ සමාජ ව්‍යාපාර සංවිධාන හා විවිධ අරගලයන්ගේ භෞතික මැදිහත් වීමෙනි. සමාජය යනු විය හැකි හෝ නොවිය හැකි දෙයක් වන්නේ බල ආධිපත්‍යයේ ප‍්‍රතිඵලයක් ලෙසය. සමාජය නිරතුරුව වෙනස්වන අතර එය ගොඩනැංවීම දේශපාලන කාර්යයකි.


ඒ අනුව යම් සමාජයක සිටින ස්ත‍්‍රිය ගැන පවතින අදහස් පද්ධතිය අපට තේරුම් ගත හැක්කේ එම සමාජයේ ගොඩනැංවීමක් ලෙසයි. ශිෂ්ටාචාරයක් ගොඩනැගීමේදී කර්තෘකයන්ට මුණ ගැසෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ ස්ත‍්‍රිය යනු කුමක්ද යන්නයි. මනෝ විශ්ලේෂණයට අනුව ෂාක් ලැකාන් අදහස් කළේ ”ස්ත‍්‍රිය යනුවෙන් දෙයක් නොපවතී” යන්නයි. ඉන් ගම්‍ය වන්නේ ස්ත‍්‍රියක් වනවා යන්නෙහි ඒකාර්ථ සංකල්පයක් නොමැති බවයි. එනම් ස්ත‍්‍රීත්වයේ සාරයක් නොපවතින බවයි. මානසිකය තුළ ස්ත‍්‍රිය පිළිබඳව කලින්ම සැලසුම් කරන ලද නිරූපනයක් ඇත්තේ නැත. ඒ නිසා ස්ත‍්‍රීමය අනන්‍යතාවයේ ස්ථානයේ පවතින්නේ හිස් ඉඩකි.


ස්තී‍්‍ර විමුක්තියේ නව කතිකාවකට පෙර... 01පශ්චාත් යටත් විජිතකරණයට පෙර ලාංකේය ස්ත‍්‍රිය සංකල්ප ගත කර ඇති ආකාරය අප පළමුව විමසා බලමු. පූර්ව යටත් විජිත සිංහල බෞද්ධ සංස්කෘතික ව්‍යාපාරයේ උද්යෝගිමත් ප‍්‍රකාශකයා වන අනගාරික ධර්මපාල විසින් සිංහල බෞද්ධයා පුවත්පතේ ස්ත‍්‍රිය පිළිබඳ මෙවැනි සටහනක් කර තිබේ.


‘‘ජපන් ස්ත‍්‍රීන්ට සමාන කරන්නට ලෝකයේ තවත් ස්ත‍්‍රීන් කොටසක් නැත. ජපන් රටට ගිය යුරෝපීය ශාස්ත‍්‍රඥයන් විසින් ලියන ලද ජපන් රට සම්බන්ධ ග‍්‍රන්ථවල ජපන් කුල ස්ත‍්‍රීන්ගේ ගුණ වර්ණනා කර තිබේ. දෙවෙනි ශ්‍රේණියේ බුරුම ස්ත‍්‍රීන් තැබිය හැකියි. ස්වකීය ශරීරය පවිත‍්‍ර කර ගැනීම ජපන් සහ බුරුම ස්තී‍්‍රන්ගේ ද දඹදිව ආර්ය කුල ස්තීන්ගේ ද ශ්‍රේෂ්ඨ අංගයකි. සැමදාම උදේට ස්නානය කිරීම, ඇඳ තිබෙන වස්ත‍්‍ර සෝදා පවිත‍්‍ර කර ගැනීම දඹදිව ආර්ය ජාතික ස්තී‍්‍රන්ගේ චාරිත‍්‍රයකි. අපවිත‍්‍ර ශරීරයෙන් අපවිත‍්‍ර වස්ත‍්‍ර හැඳ අපවිත‍්‍රව සිටීම සිංහල ස්තී‍්‍රන් විසින් චාරිත‍්‍රයක් කරගෙන තිබේ.’’

 - සිංහල බෞද්ධයා (සි.බෞ.1923/3/10) -


ධර්මපාල නූතන ශිෂ්ට කරන ව්‍යාපෘතිය තුළ සිංහල ස්වදේශිකයා සංකල්ප ගත කර තිබුණේ අශිෂ්ට පැවැත්මක් ඇත්තකු ලෙසත් ඔහු හෝ ඇය සිංහල බෞද්ධ අනන්‍යතාවය බවට ඔසවා තැබීම සඳහා නූතන ශික්ෂණ යාන්ත‍්‍රණයට ඔවුන්ව ලක් කළ යුතු බවත්ය. ස්ති‍්‍රය පිළිබඳව ධර්මපාලගේ වටහා ගැනීම තුළ ඔහුගේ පුළුල් ව්‍යාපෘතිමය ස්වභාවය හඳුනා ගත හැක. විශේෂයෙන්ම දඹදිව ආර්ය ජාතික ස්ති‍්‍රයගේ පවිත‍්‍ර චාරිත‍්‍ර ලෙස ඔහු අතීතකාමීව හඳුනා ගන්නා ලක්ෂණ යනු බි‍්‍රතාන්‍ය යටත් විජිත ශිෂ්ට කරන ව්‍යාපෘතියේම පසු ආවර්තිත ප‍්‍රතිඵලයකි. ඉංග‍්‍රිසි සමාජයේ ප‍්‍රකට වික්ටෝරියානු සදාචාරාත්මක සංස්කෘතික ලක්ෂණ සිංහල බෞද්ධ සංස්කෘතික ව්‍යාපාරය සමග නව ආකාරයකින් සුසම්බන්ධ කළ අනන්‍යකරණ මුහුණුවරක් ස්ත‍්‍රිය පිළිබඳව ඉහත ධර්මපාල ප‍්‍රවාදයෙන් හඳුනා ගත හැක.


සිංහල බෞද්ධ සංස්කෘතික ව්‍යාපාරය ගොඩ නැගුනේ බි‍්‍රතාන්‍ය ශිෂ්ටකරණ යටත් විජිත ව්‍යාපෘතිය සිය හීනමාන අනෙකා කර ගනිමින් බව පෙනේ. ස්ත‍්‍රිය පිළිබඳව ගොඩනැගෙන කතිකාවට පවා මෙම ස්වභාවය අදාළ වේ. නිදසුනකට මිෂනාරි පාසල් දෙස බලා සිංහල බෞද්ධ පාසල් ගොඩනැගුවා සේ බි‍්‍රතාන්‍ය වික්ටෝරියානු සදාචාර ඇගයුම අනුවර්තනය කර ගනිමින් නව සිංහල බෞද්ධ ආර්ය ස්ත‍්‍රියක් පිළිබඳව රූපණයක් ගොඩනගණු ලැබිණි. ඒ අනුව ශිෂ්ට ආර්ය ස්ති‍්‍රය සැබවින්ම කලින් සිටියා නොව ඊනියා බි‍්‍රතාන්‍ය ශික්ෂිත ස්ත‍්‍රිය අනෙකා කර ගනිමින් ගොඩනැගූ පසු ආවර්තිත ස්ත‍්‍රී කතිකාවක් බව පෙනේ. පශ්චාත් යටත් විජිත ජාතික රාජ්‍යයේ බොහෝ අංගෝපාංගවල ඇති දෙබිඩි මුහුණුවරෙහි ආරම්භක අඩංගුව මෙම යටත් විජිත විරෝධී සංස්කෘතික ව්‍යාපාර තුළ දැකිය හැක. වත්මන් ලාංකේය පවුල, ස්තී‍්‍ර පුරුෂ සම්බන්ධය නියෝජනය වී ඇති ආකාරය හඳුනා ගැනීමේදී මෙම යටත් විජිත සංස්කෘතික ව්‍යාපාරයේ ආරම්භක මුහුණුවර වටහා ගත හැක.


ස්තී‍්‍ර විමුක්තියේ නව කතිකාවකට පෙර... 02පශ්චාත් යටත් විජිතකරණයෙන් පසු ලාංකේය ස්ත‍්‍රිය යනු වික්ටෝරියානු සදාචාරාත්මක සංස්කෘතික ලක්ෂණ සහ ඉංග‍්‍රීසි සමාජ ලක්ෂණ ම වෙනත් ආකාරයකින් සන්ධාන ගත කළ සිංහල බෞද්ධ ශිෂ්ටකරණ උපාංග අතර වූ දෙමුහුම් සමාජයීය නිමැවුමක් වී තිබෙයි. වත්මන් ලාංකේය පවුල තුළ ස්ත‍්‍රී පුරුෂ සම්බන්ධයේ මුහුණුවර සුවිශේෂී පැවැත්මක් ලෙස පෙන්නුම් කෙරේ. වත්මන් ලාංකේය පවුල යනු මෙම ස්ත‍්‍රී පුරුෂ සම්බන්ධයයි. පවුල් සංස්ථාව තුළ සිටින විෂම ලිංගික පුරුෂයා පවුල තුළ අතීශය විනීත වන අතර ස්ත‍්‍රිය ලැජ්ජා බයට හැදී ඇත. මොවුන් පාසල, ආගමික සංස්ථා තුළ ශිෂ්ට සම්පන්න පිනට දහමට ලැදි පිරිමින් හා ගැහැණුන් ලෙස හඳුනා ගැනේ. එම සංස්ථාවන් රාජ්‍යයට බද්ධ වූ විට එතෙක් පැවති ජාතික සදාචාරය ලෙස මේ තත්ත්වය පෙන්නුම් කෙරේ. 1977 විවෘත ආර්ථිකයත් සමග ඊනියා සමාජ පරිකල්පනය සුණු විසුණු වී ගිය අතර පවුල තුළ සැදුණු ශිෂ්ට පිරිමියා සමාජය තුළ දී වල් ඌරෙකු ලෙස පෙනී යන්නට විය. විවෘත වෙළඳපොළ හමුවේ සමාජය උඩු යටිකුරු වී වෙළඳපොළ, විලාසිතා කඩ, වෙළද මාධ්‍ය ආදිය නිර්මාණය වී තිබෙද්දී විනීත පිරිමියා සහ ගැහැණිය ඉහත වෙළඳපොළට පවුල තුළින් මුක්ත කෙරිණි. පවුල තුළදී ගැහැණුන් දෙස ඇස් කොණින් වත් නොබලන වත්මන් ලාංකේය තරුණයන් මග තොටේදී රාගාධික ඇස් ගැහැණු ශරීරයට හෙළමින් පශ්චාත් භාග මිරිකන තත්ත්වයට පත්වන්නේ ඉහත තතු යටතේය. වෙළඳ ශරීරයකට සාම්ප‍්‍රදායික සංකල්ප මුහු වූ විට නිර්මාණය කෙරෙන වියවුල අපට මග තොටේදී භුක්ති විඳිය හැකිය. පවුල තුළ සිරවී ඒකාකාරී ජීවිත ගත කරන ගැහැණුන්ව, නොදන්නා වෙළඳපොළ විසින් උරාගත් විට සංකීර්ණ වසඟකාරී ගැහැණියක් නිර්මාණය වේ. වත්මන් ගැහැණුන් සහ පිරිමින් අතර සම්බන්ධතාවය යනු මෙම දෙබිඩි පුරුෂයා සහ වසඟකාරී ස්ති‍්‍රය අතර වන මුණගැසීමකි.


1977 ට පෙර ලාංකේය සමාජය තුළ ස්ත‍්‍රිය යනු කුමක්ද යන්නට සාපේක්ෂ අර්ථයක් තිබුණි. ඇය පිළිබඳ අනන්‍යතාවක් නිර්මාණය වී තිබුණි. උදාහරණයක් ලෙස පේ‍්‍රක්‍ෂකාගාරයක් ඉදිරිපිට නාට්‍යකරුගේ පෙළට යටත්ව පසුබිම් සංගීතය, ආලෝකකරණය හා වේෂ නිරූපනය හරහා වේදිකාවක් මත අභිනයන් දක්වන ස්ත‍්‍රියක අපි නිළියක් ලෙස හදුන්වමු. එහෙත් පේ‍්‍රක්‍ෂකාගාරය හිස්වී පසුබිම් සංගීතය, ආලෝකකරණය නොමැතිව, නාට්‍යකරුවා සහ වේෂ නිරූපන ශිල්පියා රඟහලෙන් පලාගොස් ඇති විටක ඇය වේදිකාව තුළ දක්වන අභිනයේදී නිළියක යන අනන්‍යතාවය ඇයට හිමි වේද? 77න් පසු ලාංකේය ගැහැණිය පමණක් නොව ලාංකේය පිරිමියා ජාතිය, ආගම, සංස්කෘතිය ආදී සියලූ අවකාශයන් මේ ඉරණමට ගොදුරු විය. අනන්‍යතාවයක් නිර්මාණය වන්නේ සමාජ සංඝටක නිශ්චිත කාල අවකාශයක රඳවන ඒකාබද්ධ වීම හරහායි. 77ට පෙර ලාංකීය ගැහැණියගේ අර්ථය ගොඩනැගුණේ ධර්මපාල චින්තනය සමඟ මුහු වූ බි‍්‍රතාන්‍ය සදාචාර දහම, රාජ්‍යය සහ පවුල අතර ක‍්‍රියාත්මක වූ සාමූහික පවුලේ අදහස්, කෘෂිකාර්මික ජීවන රටාව, ගල් ගැසුණු සංස්කෘතික ලක්ෂණ අතර පැවති සම්බන්ධය හා වෙනස්කම් අනුවයි. ඇය ගැන නිර්මාණය කෙරුණු මෙම අනන්‍යතාවය ඇය විසින් බාර ගැනුණි. ඒ අවධියේ ගැහැණිය විවාහයට පෙර ලිංගික සම්බන්ධතා නොපැවැත්විය යුතු, කන්‍යාභාවය ආරක්ෂා කළ යුතු කෙනෙකු ලෙස සැලකිණි. යම් හෙයකින් එය බිඳ වැටුණ හොත් ඇය සිය දිවි නසා ගැනීමට යොමු වීමකට පවා පෙළඹේ. ඉන් අදහස් කෙරෙන්නේ සමාජය තුළින් ඇයට ලබා දුන් අනන්‍යතාවය ඇය විසින් බාරගත් බවයි. ඊට අදාළ වේදනා විරෝධයන් සියල්ල අනන්‍යතා බාර ගැනීමේ ප‍්‍රතිඵලයන් වේ. පවුල රැුකගැනීම, චරිතවත් ලෙස ජීවත් වීම, ලිංගික ජීවිතය සැඟවීම, රාති‍්‍රයේ නිවසින් පිට නොසිටීම ආදී සියල්ල එදා ඇයට හිමි වූ අනන්‍යතා ලක්ෂණයන්ය. මේ අනුව මාතෘත්වය නැමැති අනන්‍යතාවය ඇයට ආරූඪ කොට ඇය හිලෑ කෙරිණි. ස්ත‍්‍රිය යනු කවරෙක්ද යන ප‍්‍රශ්නයට යම් සාපේක්‍ෂ පිළිතුරක් මෙතනදී ගොණු කරගෙන තිබුණි. මෙම ආකල්ප කොතරම් පසුගාමී වුවත් ඒ අවධියේ ගැහැණියට අනන්‍යතාවයක් හිමිව තිබුණි.


ස්තී‍්‍ර විමුක්තියේ නව කතිකාවකට පෙර... 03එහෙත් 77 දී ආර්ථිකය විවෘත වීමත් සමග නව ලිබරල් ධනවායේ ගොදුරක් බවට ලාංකේය සමාජය පත් විය. විවෘත වෙළඳපොළ සමාජයේ හැම අස්සක් මුල්ලක් නෑරම ආක‍්‍රමණය කළේය. ලෝක ධනවාදයට ලංකාව නිරාවරණය කෙරුණු අතර එකට බද්ධව තිබුණු පැරණි සමාජ සබඳතා මෙහිදී අහෝසි වී යයි. ඒ සමාජ උපාංග රැුහැණින් ගිලිහී නිදහස් වී යයි. 2009 මැයි 18 වන දින ප‍්‍රභාකරන්ගේ මළ සිරුර නන්දිකඩාල් කලපුවෙන් හමුවීමත් සමග ලාංකේය දේශපාලනය නව ඛණ්ඩනීය සංදිස්ථානමය මොහොතකට පත් වූ අතර දකුණට සාපේක්ෂව උතුර ද නව ලිබරල් ධනවාදයට විවෘත විය.


වෙළඳපොළ විවෘත වීම ලාංකේය ගැහැණියව ප‍්‍රබල අර්බුදයකට ගොදුරු කළ අතර ඇයගේ අනන්‍යතාවය බිඳ දමනු ලැබිණි. ගැහැණියට පෙර පැවති අර්ථය වෙළඳපොළ හමුවේ ශූන්‍ය වී ගියේය. දැන් බිඳ වැටුණු අනන්‍යතාව නැවත ගොඩනැගීම සඳහා ඇයට පිළිසරණට එන්නේ විවෘත වූ වෙළඳපොළයි. විලාසිතා කඩ, සෙලියුලර් දුරකථන, සුපිරි සාප්පු සංකීර්ණ, මාධ්‍ය කඩ, නව නිවාස, සමාජ ශාලා හා කැරෝකේ වැනි වාෂ්ප වී යන පාරිභෝගික භාණ්ඩ ඇය වෙනුවෙන් පෙනී ඉඳීමට පටන් ගනී. ජනමාධ්‍ය තුළින් සුපර්ස්ටාර්, ලවින් ස්ටාර්, ඩාන්සින් ස්ටාර්, ටැලන්ට් ස්ටාර්, මෙගා නාට්‍ය, කුකින් ස්ටාර්, ජෝතිෂ්‍ය කඩ, ලස්සන ගෙදර වැනි වැඩසටහන් තුළින් දවසින් දවස ඇය අලූත් අනන්‍යතාවයක් ලබා ගැනීමට වෙහෙසෙයි.


ස්තී‍්‍ර විමුක්තියේ නව කතිකාවකට පෙර... 04සමාජයක් නැති තැන එහි කිසිදු නිශ්චිත ලක්ෂ්‍යයක් නැති වෙළඳ පොළට ඇයගේ අනන්‍යතාවය කිසිසේත්ම යළි හිමි කර දිය නොහැක. ඉන් ඇය දරාගත නොහැකි මානුෂික ව්‍යසනයකට ගොදුරු වේ. එදා අතිශය පසුගාමී අදහස් ලෝකයක ගොදුරක් වී හෝ සිය මානුෂික ස්ථාවරභාවය සාපේක්ෂව රැකගත් ඇය මෙදා වෙළදපොළේ විකුණුම් භාණ්ඩයක් වී තිබේ. අද වන විට මෙම තත්ත්වයට විරුද්ධව මූලධර්මවාදී ව්‍යාපෘති හිස එසවීමේ පෙළඹුමක් පවතී. වෙළඳපොළට විරුද්ධ වන අතරේම අතීතයේ එකට එකතු වී තිබූ සංඝටක නැවත බලෙන් එකතු කොට ඇයට සමාජ අනන්‍යතාවයක් ලබාදීමට ඔවුන් කරන උත්සාහය අතිශය සමාජ හිංසනයක් නිර්මාණය කරයි. මොවුන් ගැහැණියගේ වත්මන් අනන්‍යතා අර්බුදය නීච ලෙස ගසා කයි. සිංහල බෞද්ධ සදාචාරවාදී ගැහැණිය පිළිබඳ ඔවුන්ගේ අණකිරීම් පවතින තත්ත්වය සමග කිසිදු අදාලත්වයක් නැතුවා පමණක් නොව පවතින වෙළදපොළ තත්ත්වය නැවත ජරා ජීර්ණ ලෙස ඇයට අභිමුඛ කරවයි. එක් පසෙකින් වෙළඳපොළේ විකිණෙන ඇයට බලහත්කාරී සදාචාරවාදී ගැහැණියකගේ වේෂය ආරූඪ කීරීමට සැරසෙයි. පිළිතුර වන්නේ මේ තුළින් වසඟකාරී මාතෘ භූමිකාවක් නිර්මාණය වීමයි.

Wednesday, January 8, 2014

සම-තැන ද? නිසි-තැන ද? | සියවසක කාන්තාවෝ [1911 - 2011]


19වන ශතවර්ෂය අවසානයේ දී සහ 20වන ශතවර්ෂය මුල දී ඇති වුණු කාන්තා කැළඹීම හේතුවෙන් විශ්ව කාන්තා දිනය බිහි වීමට පදනම වැටුණි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී, ජෝන් ස්ටුවර්ට් මිල් යනු සැබැවින්ම, ප්‍රථම වරට කාන්තාවට ඡන්ද අයිතිය දිය යුතු යැයි ප්‍රකාශ කළ පුද්ගලයා ය. වසර 1893 දී, නවසීලන්ත රජය විසින් ලෝකයේ ප්‍රථම කාන්තා ඡන්ද වරම ලබා දුන් රට ලෙසින් ඉතිහාසගත වුව ද, ලොව අන් රට වල එය ක්‍රියාත්මක වීමට තවත් බොහෝ වසර ගණනක් ගත විය.
ස්ත්‍රියගේ අරගලය ඇත්තේ පිරිමියාගේ දැක්ම සමඟය.මේ යථාර්ථය උවමනාවෙන්ම සඟවයි.ඒ වෙනුවට අචේතනික පීතෘමූලික සමාජය ආදේශ කරයි.ස්ත්‍රියගේ අරගලය ඇත්තේ අචේතනික බලවේග තුල නොවේ.පුරුෂයා විසින් අත්කරගෙන ඇති භූමිකාවට එරෙහිවය

නව පිරිමින් නිර්මානය ස්ත්‍රිය ඉදිරියේ ඇති අභියෝගයයි.ස්ත්‍රිය සිතන්නට ඕනෑ මෙසේය,කතා කරන්නට ඕනෑ මෙසේය,වැඩ කරන්නට ඕනෑ මෙසේය කියා  සමාජභාවීය වෙනස්කම් නිර්මාණයට එරෙහිවය.මේ තත්වය වියුක්ත සන්දර්භයක් තුල වුවද පිරිමින් තුල තිබිය හැක.එබැවින් චින්තනමය වශයෙන් ස්ත්‍රියට පිරිමියා සමඟ අනවරත අරගලයක් ඇත.මේ අරගලයේ ඓතිහාසික පසුබෑමක් නිසා ස්ත්‍රිය අද සිටින තත්වයට පත් වී ඇත.

ස්ත්‍රියට පිරිමියාගේ ළමයි බලන්නියක් වීමට සිදුවී තිබේ.කුඩා කල පියාටද විවාහයෙන් පසු සැමියාටද වියපත්වූ පසු පුතාටද යාට්ටහ් වී සිටින්නට සිදුවී ඇත.ස්ත්‍රියගේ අරගලය මේ සියල්ලන් ගේ දැක්මට එරෙහිවය.

ඇය කැමති දෙයක් කිරීමට ඇයට නිදහස තිබිය යුතුය.මෑතක බස් කොන්දොස්තරවරුන් ලෙස කාන්තාවන් බඳවා ගැනීමට යාම ප්‍රවෘත්තියක් වී තිබිනි.
කොටින්ම පිරිමින් ස්ත්‍රියගේ මෙම අරගලය නොතකා හරින්නේ නම් ඇයට පිරිමින් ගෙන් නිදහස්ව ජීවත් වීමට හෝ ඉඩ තිබිය යුතුය.

කාන්තා සුබසාධන වැඩ මෙම යථාර්ථය සඟවයි එම වැඩ වලින්ද අන්තිමට ප්‍රතිලාභ ලබා ගන්නේ පිරිමියාය.අවශ්‍ය වන්නේ පාසල්මට්ටමින් ස්ත්‍රියට අරගලය ගැන න්‍යායාත්මක දැනුමක් ලබා දීමයි.

ආගම ,සදාචාරය  හා මාතෲත්වය පමනක් නොව ජනප්‍රිය ලිංගික චර්යාවද වැනිදේ ස්ත්‍රිය පාලනය කිරීමට ස්ත්‍රිය මත පිරිමියා පටවන ලද දේය.පවුලේ වැඩියෙන් ආදායම් ඉපයූවත් ඇය ගෘහමූලිකයා නොවේ.නව ආකාරයේ පුරුෂ කතිකාවක් නම් කාන්තා හිංසනයයි.එම වචනයෙන්ම ස්ත්‍රිය බාල්දු කර ඇත.ඇය දෙවැනි තැනට දමා ඇත.ඇය ආරක්ෂා විය යුතු තැනැත්තියක් ලෙස හුවා දක්වා ඇත.දුර්වලයෙකු කර ඇත.එහෙත් ස්ත්‍රිය තමන් ලිංගික වශයෙන්ද ශාරීරික වශයෙන්ද දුර්වලයෙකු නොවන බව ( විශේෂයෙන්  බටහිර කාන්තාව ) ඔප්පු කර ඇත.


අචේතනික දේවල් බොරුවට මවා පෙන්වන්නේ නැතිව පිරිමියා සමඟ ඇති අරගලය තේරුම් ගත යුතුය.එසේ නැතිව ජයග්‍රහණයක් ලබා ගත නොහැක.පිරිමියා සමඟ ස්ත්‍රියගේ අරගලය සමාජයීය හා ආර්ථික,දේශපාලනික වශයෙන් මෙන්ම ලිංගික වශයෙන්ද වූවකි.

අප මේ වටිනා ලිපිය උපුටා ගත්තේ Boondi.lkවෙබ් අඩවියෙනි. වැඩි විස්තර සඳහා කියවන්න.
http://boondi.lk/article.php?ArtID=1703