Sunday, April 13, 2014

සම්ප්‍රදායික සිංහල අවුරුද්ද නවීකරනය කළයුතු කාලයයි මේ



සිංහල අළුත් අවුරුද්ද ගැන කතාකරන්නට එක් එක් කෙනාට බොහෝ දේ ඇතත් මට ඇත්තේ සම්ප්‍රදායෙන් බැහැරව කතා කිරීමට කරුණු ටිකකි. මෙය සිංහල දෙමළ හෝ සිංහල හින්දු අළුත් අවුරුද්ද ලෙසත් හඳුන්වනු ලබයි. ඒ කෙලෙස හැඳින්වුවද මේ ජාතික උත්සවයේ ඉතිහාසය හෝ වෙනත් කරුණු කුමක් වුවත් එහි තිබෙන සම්ප්‍රදායික ලක්ෂණ කාන්තාව කෙරෙහි බලපාන ආකාරය නූතන ඇසින් බලා විග්‍රයක් කිරීම මගේ අරමුණයි.
                              

   අළුත් අවුරුද්දේ වැදගත්ම චාරිත්‍ර ටික පටන්ගන්නේ ලිප ගිනි මෙලවීමේ සිටය එතැන් සිට වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකැත් වේලාව අනුව සිදුකරනු ලබයි. මේ සිද්ධි සැලකීමේදී අපට පැහැදිලිව පෙනෙන එක් දෙයක් නම් කාන්තාව සම්ප්‍රදායික ගෘහණිය ලෙස ඇය තවත් කුස්සිය මුල්ලටම තල්ලු වීමයි. එය මනාවට පෙන්නුම් කරන්නේ අළුත් අවුරුද්දට නිවසේ කාන්තාව, මව විසින් ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රය ඉටු කිරීම අනිවාර්‍ය දෙයක් වී තිබීමෙනි. ලිප ගිනි මෙලවීම යනු මුලුතැන්ගෙයි ඉවුම්පිහුම් කටයුතු සමග එකට සම්බන්ධ වූ දෙයකි. එවැන්නක් වැදගත් චාරිත්‍රයක් වීමෙන් පෙන්නුම් කරන්නේ කාන්තාව සම්ප්‍රදායික ගෘහණිය වීමද ඒ හරහා වැදගත් දෙයක් ලෙස ඉස්මතු කිරීමයි. මේචාරිත්‍රය වටා බැඳෙන අනෙක් සිද්ධිය වන්නේ කිරිබතක් පිළියෙල කිරීමයි. කිරිබතක් පිසීමට දැනගෙන හිටීම කාන්තාවන්ට අනිවාර්‍ය දෙයක් වන තරමට මෙය අප සමාජයේ මුල්බැසගෙන ඇත.  ඇත්තෙන්ම අවුරුදු චාරිත්‍ර වල වැදගත්මක් තිබුණද ලාංකීය කාන්තාවට සිය සම්ප්‍රදායික සීමා මායිම් බිඳදමා නූතනත්වය කරා යන්නට තිබෙන සමාජමය බාධකයන් ඒ තුලින් තවත් දැඩි වීමනම් පැහැදිලිව පෙනෙන සත්‍යකි. එබැවින් මේ චාරිත්‍ර කාන්තාවට පමණක් සීමා කිරීම නොකිරීම හෝ අවම වශයෙන් කළ හැකිනම් එය යහපත් වේ. විශේෂයෙන් පිරිමින්ද කාන්තාවන් සමග කුස්සියේ වැඩකටයුතු බෙදාගන්නා මේ කාලයේ. ඇත්තෙන්ම  එවැනි චාරිත්‍ර ඉවත් වන්නේනම් මා එයට පෞද්ගලිකව කැමතිය. එහෙම නැත්නම් සිංහල අළුත් අවුරුද්ද කාලයට අනුව නවීකරනය කරයුතුයි.
                            ලිප ගිනි මෙලවීම හා කිරිබත පිසීමට පසුව එළඹෙන්නේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයයි. වැඩ ඇල්ලීමේදී කැපී පෙනෙන්නේ පිරිමි පාර්ශවය කරන වැඩකටයුතුය. බොහෝවිට ගම් වලනම් කුඹුරු වැඩ හා සම්බන්ධ දේ කෙරෙයි. කාන්තාවන් එම වැඩ කටයුතු වල බහුලව නිරත නොවන බැවින් කාන්තා ක්‍රියාකාරකම් එහිදී කැපී පෙනෙන්නේ නැත. මෙයින් පෙනෙන තවත් එක් දෙයක්නම් සමාජයේ පවුල් නඩත්තු කිරීම ඇතුලු වගකීමෙන් යුතු මෙන්ම තරමක් මහන්සි වී කළයුතු වැඩකටයුතු සියල්ල පිරිමින් විසින් පමණක් කළයුතුය යන සමාජ පිළිගැනීමයි. කාන්තාවන් පමණක් කරන කොතෙකුත් දේ තිබුණත් ඒ ගෘහ කටයුතු හා ඊට සම්බන්ධ දේට පමණක් සීමා වන දේවල් වේ. ඒ කිසිත් කාන්තාවන් විසින් ඉස්මුදුනේ තබාගැනීමද නුවනට හුරු නැත. එබැවින් වියයුත්තේ මහන්සිවී ශරීර ශක්තිය යොදවා කරන වැඩකටයුත්තක් සමග වැඩ ඇල්ලීමේ ක්‍රියා පිළිවෙතක් කාන්තාවන්ටද අදාල වන ලෙස මේ සිරිත නවීකරනය වීමයි.  ඇත්තෙන්ම ඊට බාධාවක් ඇතැයි කියා සිතන්නටත් බැරිය. හේතුව කාන්තාවන් එවැනි වැඩ කටයුතු වලට යොමු වීමට දක්වන මැලිකම යම් බාධකයක් වී ඇත. එය ඉවත්කර සම්ප්‍රදායෙන් මිදියහැකිනම් ප්‍රශ්නයක් නැත.
                              
   ගනුදෙනු කර ආහාර අනුභවය සැලකීමේදී ගනුදෙනු කිරීම සම්බන්ධයෙන්නම් එතරම් ගැටලු නැතත් ආහාර අනුභව කිරීමේ චාරිත්‍රය සලකන විටනම් ඒ ගැන යමක් නොකියා බෑ. එහිදී බොහෝ විට පවුලේ වැඩිහිටි පිරිමි කෙනෙකු සෙසු සාමාජිකයන්ට කිරිබත් කැවීම සිදුකරන්නේ සාමාන්‍යයෙන් ගෘහ මූලිකත්වය පුරුෂයාට හිමිවන කාරනය ඉස්මතු කරමිනි. කාන්තාවන් එම කාර්‍ය කරන්නේ කලාතුරකිනි, එයද පවුලේ වැඩිහිටි පිරිමි අයවලුන් නොමැති අවස්ථා වලයි. මෙයද සම්ප්‍රදායෙන් බැහැර වෙමින් කාන්තාවට කළ හැක. එහෙත් සම්ප්‍රදාය මත හිතන පතන පිරිස තවමත් වැඩි බැඇවින් එවැනි වෙනසක් උවමනාවෙන් කළ නොහැක. එයට බාධාවක්ද ඇතැයි සිතීමටද බැරිය.
                              
    කතාකිරීමට වැදගත් වන අනෙක් චාරිත්‍රය නම් හිස තෙල් ගෑමයි. එහිදී බොහෝ විට මේ චාරිත්‍රය කරනු ලබන්නේ හාමුදුරුනමක් හෝ ගමේ වෙදමහතා මූලිකත්වය ගෙනයි. එහිදීද සම්ප්‍රදායිකව මුල් වන්නේ පුරුෂ පාර්ශවය වන අතර කාන්තාවන් තව දුරටත් සම්ප්‍රදාය තුල කොටු වෙමින් පුරුෂයා ප්‍රභූත්වයට පත්වෙයි. සම්ප්‍රදායෙන් බැහැරව මේ කටයුත්තද නවීකරනය කළහැක. ඒ දේශීය වෛද්‍ය විද්‍යාව කාන්තාවන්ද මෙකළ හදාරන බැවින් හා වෙද මහත්වරුන්ට අමතරව වෙදහාමිනේලාත් ටික දෙනෙක් හෝ සිටින බැවින් වෙද මහත්වරුන්ට මෙන්ම වෙද හාමිනේලාටද එම කාර්‍ය කළහැකි නිසයි. ඒ අනුව කාන්තාවන්ටද හිසතෙල් ගෑමේ චාරිත්‍රයේදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට අවස්ථාව ලබාගනිමින් එය කාලානුරූපීයව නවීකරනය කළ හැක.
                              ඕනෑම දෙයක් කාලයත් සමග වෙනස් වේ. වෙනස් වනවා පමණක් නොව නවීකරනයට බඳුන්වේ. එහිදී චිරාගත සම්ප්‍රදායන් ලොව කොතැනත් වෙනස්කම් හා නවීකරනයන්ට භාජනය වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ විෂමතා තුරන් වන ආකාරයටයි. එක් අතකට අප අවුරුදු චාරිත්‍ර වුවත් කරතබාගෙන යායුතු නැත. මන්ද වත්මන් කාර්‍ය බහුල සමාජයට මේ චාරිත්‍ර කරමින් කාලය ගතකිරීමට ඉඩ ප්‍රස්ථාව අඩු නිසා. මේ චාරිත්‍ර වැදගත් යැයි සම්මතයක් තවම තිබෙන බැවින් ඒවා නවීකරනයට භාජනය වියයුතු බව මෙහිදී නැවතත් මතක්කර දෙන්නට කැමතියි.

6 comments:

  1. අනිවාර්යයෙන් ඔක්කෝම මොඩ් වෙන එකේ... මේකත් මොඩ් වෙන්නම ඕන...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුභවාදීව අදහසක් එකතු කළාට.

      Delete
  2. කාන්තාවට සම අවස්ථා දියව්...! ඒ සම අවස්ථාවල සහජීවනයෙන් කටයුතුකිරීමට බුද්ධිය දියව්...

    කාන්තාවන් සමාජානුයෝජනය කරන්නේ කාන්තාවන් ම වීම නිසා තමයි ගොඩක්ම කාන්තාවන් ලේසියෙන් දෙවන තැනට පත් වෙන්නේ. ගොඩක් කාන්තාවන් සම අවස්ථා භුක්ති විඳීමට සූදානම් නැති තත්ත්වයක් වර්තමාන සමාජයේ තියෙනවා.

    ReplyDelete
  3. ජයවේවා නැන්දේ :))

    ReplyDelete
  4. මේවනම් මලාට මේරටේ කරන්න බැරිදේවල්. පුලුවන් දෙයක් කතාකළානම් ප්‍රයෝජනවත් කාලෙත් ඉතිරියි.

    ReplyDelete
    Replies
    1. මොලේ අමාරුවට ලියන ඒවනේ

      Delete