Tuesday, March 8, 2016

පනක් නැති මලානික වූ තවත් කාන්තා දිනයක් නිමා විය


මෙවරත් මාර්තු මස 8 වනදා සුපුරුදු ලෙස ඔහේ සැමරියයුතු නිසා සමරනු ලැබූ මලානික කාන්තා දිනයක් නිමාවට පත් විය. ඒගැන අපගේ බලවත් කනගාටුව මෙන්ම කාන්තා දිනය කිසිත් උද්‍යෝගයකින් තොරව සමරා ඊට අඩු මට්ටමේ අනුග්‍රහයක් දැක්වූ රජයට අපගේ විරෝධයද පල කරමු. විශේෂයෙන් සිංහල ජාතිවාදී හා සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී රජයක් පෙරලා දමා නව යහපාලන රජය පිහිටවීමට නව යුගයේ පෙරලිකාර කාන්තාවන්ගෙන් ලැබුනේ නොමද සහයකි. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වූ බවක් පෙනෙන්නට ඇත. යහපාලන රජයෙන් මෙරට සම්ප්‍රදායිකත්වයට එරෙහි කාන්තාව බලාපොරොත්තු වූයේ කාන්තාව නූතන ලෝකය වෙත ගෙනයා හැකි පෙරලිකාර පාලනයකි. එහෙත් එයට බාධා බොහෝ ඇති බව දැන් පෙනෙන්නට තිබේ. යහපාලන රජයේ වැඩි බලය එක්සත් ජාතික පක්ෂයට තිබීම යම් ප්‍රමානයක අස්වැසිල්ලක් උනත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් සම්ප්‍රදායික යුගයේ සිටින බව පෙනේ. රජය තුල සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට රට තුල කාන්තාවට නිදහසේ දොර කවුලු විවර කරවන වෙනස කිරීමට ඉඩ නොදන සෙයක් තිබේ. මෙය සැබැවින්ම කනගාටුදායකය.
                        මෙරට සම්ප්‍රදායික මව හා ගෘහණිය නොවූ නූතන යුගයට පිය මනින විප්ලවකාරී කාන්තා පරපුර නව රජයෙන් බලාපොරොත්තු වූයේ මේ ටිකද? මුලදී රනිල් වික්‍රමසිංහ මහතාත් විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතාත් සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය හා විසමලිංගික උත්තමවාදී ආකල්ප බැහැර කරමින් කාන්තාවගේ මෙන්ම සියළුම ලිංගික අනන්‍යතාවයන්ට අයත් පුද්ගලයන්ගේ නිදහස වෙනුවෙන් යම් මෙහෙවරක් කරන ආකාරය පෙනෙන්නට තිබුණත් දැන් නැවතත් රට පුරා නව යහපාලන රජයට එරෙහි දැවැන්ත ජන රැල්ලක් ගොඩනැගීම හරහා රජය අපහසුතාවයට පත් වී තිබේ. මේ මහා ආණ්ඩු විරෝධී රැල්ල පසුපස සිටින්නේ පැවති රජයේ සම්ප්‍රදායික සිංහල ජාතිවාදී බලවේගයයි. මේ බලවේගය නැවත රජයේ වැඩපිළිවෙලවල් කඩාකප්පල් කරමින් සිටිති. ජාත්‍යන්තරයේද සහය ඇතිව මෙරට කාන්තාවගේ ප්‍රගතිය වෙනුවෙන් සම්ප්‍රදායිකත්වයේ රාමු සියල්ල බිඳ දැමීම කළ යුතුව තිබියදී ඊට තිබෙන ඉඩකඩ අහුරන්නේ වෙන කවුරුවත් නොවේ හිටපු සම්ප්‍රදායික ජාතිවාදී රජයේ ගෝලබාලයෝයි. මොන අවාසනාවකට හෝ මොවුන්ගෙන් කොටසක් වත්මන් යහපාලනයේද කොටස්කරුවන් වී සිටිති. මේ පිරිස පන්නා දමා පිරිසිදු එකසත් ජාතික පක්ෂ රජයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් බිහි වීම හැර වෙනත් විදිහකින් කාන්තාවට ප්‍රගතියක් බලාපොරොත්තු විය නොහැකිය.
                             මේ යහපාලන රජය බිහි වූ දා සිට මෙරට ප්‍රගතිශීලී කාන්තා පරපුර බලාපොරොත්තු වූයේ සම්ප්‍රදායිකත්වයේ සියළු බාධක බිඳ දමා නූතන යුගයක් කරා යෑමටය. සම්ප්‍රදායික පවුල් ක්‍රමයට පයින් ගසා විවාහය නම් පුරුෂාධිපත්‍ය සිරකුටියෙන් මිදීමටය. කුස්සියත් හැඳිමිටත් වලදමා සම්ප්‍රදායික ගෘහණියගේ භූමිකාව පලවා හැරීමටය. පිරිමියාගේ කාම ආශාව සන්සිඳුවමින් පිරිමින්ගේ කාමුකත්වයට සහය දක්වන විලාසිතාකරමින් දරුවන් වදමින් සම්ප්‍රදායික මවගේ භූමිකාව කිරීමට නැවතීමේ තිත තැබීමටය. පුරුෂයන්ට නොදෙවෙනි කාන්තාවන් පෙරට ගෙන සියළු ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට සම අවස්ථා ලබා දෙමින් විසමලිංගික උත්තමවාදය පලවා හැරීමටය. බාල වයස්කාරියන් අඹුකමට ගෙන හොර විවාහ කරගන්නා සල්ලාලයන්ට මරන දඬුවම ක්‍රියාත්මක කරවීමටය. එහෙත් ඒ බලාපොරොත්තු කිසිවක් ඉටු උනාද? කාන්තා දිනයේ වැදගත්කමවත් නොදැන ඇතැම් රජයේ ආයතන වල කාන්තා දිනය සමරා ඇත්තේ පන්සල් වලට ගොස් මල් පහන් පුදා ආගමික කටයුතු කිරීමෙනි. මේ මොන මෝඩකම්ද? තවත් සමහර කාන්තා වැඩසටහන් ඉවුම් පිහුම් රූපලාවන්‍ය කටයුතු වලට සීමා වී තිබුණි. තවත් සමහර පෞද්ගලික ආයතන වල කාන්තා දින උත්සව පවත්වා කාන්තාවන්ට ගෞරව කරන බවක් පෙන්වීමට කර තිබෙන්නේ සම්ප්‍රදායික ගෘහණියන් හා ගෙදර බුදුන් අම්මා පට්ටම වර්නනා කිරීමයි. මේවා විහිළුය. නව යුගයේ කාන්තා පරපුරකට මේ කිසිවකින් වැඩක් නැත. අවශ්‍ය වන්නේ පුරුෂයාගේ සියළු කියුම් කෙරුම් වලට අභියෝග කළ හැකි පුරුෂයින්ට සමාන ශක්තිමත් එඩිතර කාන්තා පරපුරක් හදා ගැනීමයි. එහෙත් ඊට මෙවර කාන්තා දිනයේදීත් නිවැරදි අඩිතාලම වැටුනේ නැත. එය අතිශයින්ම කනගාටුදායකය.