Tuesday, November 25, 2014

කාන්තාව හා පොදු අපේක්ෂකයා

මේ ලිපියටනම් මුල් වුන කාරනේ එසේ මෙසේ එකක් නෙවෙයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දේවල් නෑ. මේ දවස්වල හා හා පුරා කියලා එලි බැහැපු ජනාධිපති පොදු අපේක්ෂකයා හා ඔහු වටා එකතුවුන දේශපාලන සහචරයින් ගැන කියන්නයි ලිපිය ලියන්න හිතුවේ. පොදු අපේක්ෂකයා දැන් මෛත්‍රීපාල සිරිසේන මහතායි. කවුරුත් හිතපු නැති විදිහට කඩාපාත්වුනු ජනාධිපතිවරනයට රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයෙන් තරගවදිනු ඇතැයි බොහෝ දෙනෙක් විෂ්වාස කළත් එය එසේ උනේ නෑ. පොදු අපේක්ෂකයෙක් ගැන කටකතා බොහොමයක් පැතිරෙමින් තිබුණා. පොදු අපේක්ෂකයා අහවලා වනු ඇතැයි කියමින් එක් එක් අය විවිධ මත පලකර සිටිනුද දක්නට ලැබුණි. මේ අතර චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ නමද වරක කියවිනි.

                          වනිතා හඬෙන් පෙන්වාදෙන්නට යන්නේ මේ තත්වය කාන්තාවට බලපාන හා වැදගත් වන ආකාරය කුමක්ද යන්නයි. ඇත්තෙන්ම පාලනයේ වෙනසක් වියයුතුයි. මේ පාලනය තුල විශේෂයෙන් රටේ වනිතා පරපුරට යහපතක් අත්නොවේ. මේ දෙස කාන්තාවගේ පැත්තෙන් බලා බොහෝ දේ කියන්නට පුළුවන. ඇත්තෙන්ම වත්මන් කාන්තා පරපුරට අවශ්‍ය වන්නේ ලොව නූතනත්වය දකින්නට හා පුරුෂාධිපත්‍ය සමාජ රාමුවෙන් ගැලවී එහි සියළු බැමි පුපුරවා හැරීමටය. ඒ සඳහා මේ පවතින පාලන පක්ෂයෙන් ලැබෙන්නේ ඉතා අඩු සහයෝගයකි. විධායක ජනාධිපතිකම පිරිමියෙකු විසින් හොබවන තැන කාන්තාව ගැන කවර කතාද? මේ විධායක ජනාධිපතිකම අහෝසි කිරීමනම් ඉතා හොඳ වැඩක් බව නොපැකිලව කිව හැකියි. රටටත් රටේ ගෞරවනීය වනිතා පරපුරටත් යහපතක් සිදුවූයේ උතුම් කාන්තා චරිතයක් වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජද්නාධිපති වී සිටි අවධියේ පමණි. ඊට හේතුව ඇය බුද්ධිමත් නූතනවාදී.  කාන්තාවක් වීමය.
                           

නැවත වරක් මෙරට වනිතා පරපුරට නිදහසේ ස්වර්ණමය යුගයක් කරා යන්නට තිබූ අවස්ථාවක් අහිමි වුන බව මෙවර ජනාධිපතිවරනය දෙස බලන විට වනිතා හඬට පෙනෙන්නට තිබේ. ඒ ජනාධිපතිවරනයේ විපක්ෂ පොදු අපේක්ෂකයා වන්නට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ඉඩ නොලැබීම තුලයි. මේ ගැන හිතන්නට බොහෝ දේ තිබේ. එයින් ගිලිහී ගියේ මෙරට නූතනත්වයේ අරුණළු දකින්නට බලාපොරොත්තුවෙන් සිටි කාන්තා පරපුරේ අනාගත අභිලාශයන්ය. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය 1994 වසරේ ජනාධිපතිවරනයෙන් ජයගැනීමත් සමග මෙරට සමාජයේ බොහෝ වෙනස්කම් සිදුවුනේ කාන්තාවට යහපත් ලෙස නූතනත්වය කරා පියනගන්නට හැකිවන ආකාරයටයි. අදටත් කාන්තාවන් බුක්තිවිඳින්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය දුරදක්නා නුවනින් කළ වැඩපිළිවෙලවල් වල යහපත් ප්‍රතිඵල වේ. මේ යන විදිහට එවන් තත්වයක් යලි උදාවනු ඇත්ද? වත්මන් පාලනය තුලනම් කොහොමත්ම නැත. අවාසනාවනම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙනුත් එවැන්නක් සිදුවන ලකුණු පහල නොවීමයි.
                    මද අස්වැසිල්ලකට තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කරන බවට ප්‍රකාෂ කිරීමයි. රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් දේශපාලකයන් මෙන් නොව කාන්තාව කෙරෙහි නම්‍යශීලී බවක් දක්වයි. ඔහු පුරුෂාධිපත්‍ය උමතුවෙන් නොපෙලෙයි. නමුත් ඔහු වටා සිටින අනෙක් අය විශ්වාස කළ නොහැක. මංගල සමරවීර මහතා වැනි අයනම් ඉතා හොඳ ගුණගරුක අය වෙති. සමරවීර මහතානම් පස්චාත් නූතනවාදී අදහස් ඇති අයෙකි. ඔහු මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාත් කාන්තාවන් නූතනත්වය කරා යන ගමනට විරුද්ධ නැත. කෙසේ නමුත් ඔවුන් වටා සිටින අනෙක් පුරුෂාධිපත්‍යවාදීන් කුමක් කරනු ඇත්ද යන්න කිසිවෙකුටත් කිව නොහැකි වේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියනම් කාන්තා විමුක්තිය ඉතා හොඳින් ක්‍රියාවට නැගූ බව පෙනෙන්නට තිබේ. වත්මන් විපක්ෂය තුලත් එලෙස කාන්තාව වෙනුවෙන් යම් කැපකිරීමක් කළහැකි අය ඇත්නම් ඒ රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර යන මහත්වරුය. මෛත්‍රීපාල සිරිසේන මහතා විධායකය අහෝසි කර පාර්ලිමෙන්තුවට බලය පැවරීම තුලත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම තුලත් කාන්තාවට යම් ශක්තියක් ලැබීම නියත වශයෙන්ම සිදුවේ. නව රජයක් පිහිටුවීමේදී මංගල සමරවීර  මහතාටත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටත් ප්‍රභල තනතුරු හිමි වන්නේනම් කාන්තා පරපුර වඩා සුරක්ෂිත වනු ඇත. ඒ ඔවුන් සම්ප්‍රදාය තුල නොව නූතනත්වය තුල සිටින නිසාය.
                       
අවසන් මොහොත වනතෙක්ම කුමක් සිදු වේද යන්න පිළිබඳව නිස්චිතව යමක් කිව නොහැක. දැනට පවතින දුෂ්ඨ පාලනයනම් අවසන් වියයුතුම වේ. පොදු අපේක්ෂකයා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය නොවීමනම් සැබැවින්ම  කනගාටුවට කරුනකි. එහෙත් පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහනය වනිතා හඬේද බලාපොරොත්තුව බව කිවයුතුය. ඒ පොදු අපේක්ෂකයා වටා මේ වන විට එක් වී සිටින බලවේග සමස්ථයක් ලෙස ගත් කල කාන්තාව නූතනත්වය කරා ගෙනයන ගමනකට විරුද්ධ නොවන අය වීම නිසයි. හෙට අනිද්දා වන විට තවත් විශාල පිරිසක් පොදු අපේක්ෂකයා වටා එක් රොක් වනු ඇත. සම්ප්‍රදායික නොවන සියළු ජනතාවගේත් විශේෂයෙන් රටේ කාන්තා පරපුරේත් අභිවුර්ධිය සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට මැතිවරන සටන ජයගැනීමට හැකි වේවායි වනිතා හඬ තුලින් ආශිර්වාද කරමු.