Monday, July 14, 2014

කාන්තාවන් සිහියට ගතයුතු වන වැදගත් දෙයක්.




වැල්වටාරම් නොකියා මේ කියන්නට යන දේ කෙලින්ම කියන්නම්. කියන්නට යන්නේ වෙන දෙයක් නෙවෙයි කාන්තාවට කාන්තාව මිස පිරිමියාගෙන් කිසිදු හවුහරනක් නැත කියායි. මේ කියමන හරිද කියල පුරුෂාධිපත්‍යවාදීන්ගෙන් අහල වැඩක් නෑ. එහෙම ඇහුවොත් ඒ අය ආපිට අහයි ඇයි පිරිමින් කාන්තාව රැකබලාගෙන පෝෂණය කරමින් ඔවුන්ට හහතින් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හදන්නේ නැත්ද කියලා. ඒත් ප්‍රශ්නෙ ඒක නෙවෙයි. නූතන යුගයේ කාන්තාවන් පිරිමින්ගෙන් මෙලෙස රැකවරනය හා යැපීම බලාපොරොත්තු වියයුතුද කියන එකයි. අන්න එතනම කාන්තාවගේ නිදහස පිරිමියා විසින් උදුරගෙනයි තියෙන්නේ.
                              බුද්ධිමත් කාන්තාවන් මේ ටිකනම් කල්පනාකරලා බලන්නම ඕනේ. ඒ පිරිමියා තමන් රැකබලාගෙන පෝෂනය කරන්නේ තමන්ට ඇති කරුනාවක් නිසාද කියන එක. ඇත්තෙන්ම නෑ. ඔවුන් එසේ කරන්නේ කාන්තාව ලවා තම කාමුක අවශ්‍යතා සංසිඳුවාගනිමින් ළමයි වදවාගැනීම යහතින් කරගන්නට පුළුවන්තාක් විතරයි නේද? කාන්තාවන් තමන්ගේම ස්වාධීන ගමනක් පිරිමියාට යටත් නොවී යන්න උත්සහ කළොත් ඔය කාන්තාවන්ට බොරු ආදරය පෙන්වන කිසිම පිරිමියෙක් ඔවුන් කියන ආකාරයට කාන්තාවන් රැකබලාගනිමින් පෝෂණය කරමින් ඔවුන් වෙනුවෙන් ජීවත් වන්නට යන්නේ නෑ. බොහෝ පිරිමින්ට කාන්තාව තමන්ගේ කාම වස්තුව හැටියට පරිහරනය කළත් කාන්තාවට කිසිම වටිනාකමක් දෙන්නටනම් උවමනාව ඇත්තේම නෑ. පිරිමින්ට පමණක් සීමාවන කොතෙකුත් දේ කාන්තාවන් විසින් කරමින් තමන්ට එය කළහැකියැයි ඔප්පු කර පෙන්වුවද ඒ ගැන වචනයක්වත් කතාකිරීමට පුරුෂාධිපත්‍යවාදී මහන්තත්ත පිරිමින් කැමති නැතිය. පිරිමින් කරන ඕනෑම කටයුත්තක් කරමින් තම ජීවිත අභියෝග ජයගෙන ඉදිරියට යන්නට කාන්තාවන් උත්සහ කළහොත් කාන්තාව රැකබලාගැනීමට පාරම්බාන පිරිමි සේරම ඇය අනතුරට ඇදදමා පලායනු ඇත ඒ කාන්තාව තම කාම වස්තුව හා ළමයි වදන යන්ත්‍රය ලෙසට සිතන මහා ධීර වීර පිරිමියාගේ හැටිය.
                              

      පිරිමින් හැමවිටම කාන්තාව මනින්නේ තම ලිංගික ආශාවන් මත පිහිටා සිටයි. ඔවුන්ට එයින් තොර ලොවක් නැත. පිරිමියෙකු කාන්තාවකට සමාජයේදී යම් උපකාරයක් කළද ඔහු මුලින් බලන්නේ ඇය තමන්ගේ කාමුක හැඟීම් වඩවා ගැනීමට කොතරම් සුදුසුද යන්නයි. යම් ප්‍රශ්නයකට මුහුණදෙන කාන්තාවක් තරුණ රූමත් කෙනෙක් උනානම් යහපත් පුරුෂයින් සේරම ඇයට උදවු කරයි. නමුත් පිරිමින්ට අභියෝගයක් වන ශක්තිමත් වගේම පිරිමින් තරමට කාර්ය කිරීමේ දක්ෂ කාන්තාවකට මුහුනදෙන්නට වන සමාජ ගැටළුවක් නිරාකරනය කරගැනීමට මේ පුරුෂයින් කෙසේවත් උදවු කරන්නේනම් නෑ. වෙන එකක් තියා පිරිමියෙක් කාන්තාවක් දෙස බලා හිනා උනත් ඒ ටික කරන්නේත් තමන්ගේ කාම ආශාවට ගැලපෙන පෙනුමක් ඇති අය එක්ක විතරමය. නමුත් පිරිමින් කියන්නේ තමන් ස්ත්‍රී දූෂකයන් අපචාරකරුවන්ගෙන් කාන්තාව බේරාගැනීමට ඕනෑම මොහොතක ඉදිරියට එනවයි කියන එක. මේ අමූලික බොරු. ඇත්තෙන්ම ඔවු ඒ ටික කරන්නේත් කාන්තාව ඔවුන්ට ප්‍රියමනාප කාමුක ස්ත්‍රී චරිත වනවානම් හා විවාහ වීම දරුවන් හැදීම ආදියට බැඳී සිටිනවනම් පමණයි. මේ ටික නූතන යුගයට පිවිසෙන කාන්තාව අනිවාර්ය ලෙස දැනගන්න ඕනේ.
                              
        අන්තිමටම කියන්න තියෙන්නේ මේ ටික විතරයි. ඒ පිරිමින් සියලු දෙනා කාම පිස්සන් මිස කාන්තාවට හිතැති අය නෙවෙයි කියන ටික. කාන්තාවට අවසානයේ කාන්තාව පමණයි පිහිටට එන්නේ තමන්ගේ උත්සහයෙන් නැගී සිට නව ලොවට පිවිසෙන්නට ඔවුන් උත්සහ කරද්දී. ඒ නිසා හැම විට කාන්තාව තමන් පිරිමින්ට ප්‍රියමනාපද යන්න නොසලකා පිරිමියාගෙ උදවුවක් නැතිව ලෝකයේ ජීවත් වීමට උත්සහ කළයුතුයි. පිරිමින්ට අභියෝගයක් වන එඩිතර ශක්තිමත් කාන්තාවන් වටා සමස්ථ ස්ත්‍රී ජනසමූහයම ඒකරාශී වියයුතුයි. හැම දේටම පිරිමියාගේ පිහිට පැතීම නවතා දාන්නත් ඕනේ. ඒ වගේම තමන් කාන්තාවට ඔයතරම් හිතවත්නම් කාන්තාව වෙනුවෙන් කැප කිරීම් කරනවනම් කාන්තාව පිරිමියාගේ කාමුක වහල් බවෙන් මිදී නව ලොව කරා යන ගමනට සහය දෙමින් පුරුෂයාට අභියෝග කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට ඉදිරිපත් නොවන්නේ ඇයි කියලා ඔය ගුණගරුක පිරිමින්ගෙන් අහන්නත් ඕනේ. ඔවුන්ට කට උත්තර නැති වෙන්නේ මෙන්න මෙතනදී. නැවතත් මතක්කරදෙන්න තියෙන්නේ කාන්තාවන්ට පිහිටක් වන්නේ හැමවිට කාන්තාවන් පමණක් කියන එකමයි. පුරුෂාධිපත්‍යවාදී වීරයන්ට මේක  බලලා  හැකිනම් හිතේ අමාරුව යන්න මොනවහරි දොඩවලා යන්න පුළුවන්.

Saturday, June 21, 2014

ලොව ප්‍රථම අගමැතිනිය


 ලොව ප්‍රථම අගමැතිනිය බිහිකිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවුනේ 1960 ජූලි 21 වන දින ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලංකාවේ අගමැති ධූරයට පත්වීමත් සමගයි. මෙය මුලු ලොවටම විශේෂ සිද්ධියක් වුනේ ඒ වන තෙක් ලොව වෙනත කිසිදු රටක රාජ්‍ය නායකත්වයට කාන්තාවක් පත් වී නොතිබුණු හෙයකිනි.වසර 1916 අප්‍රේල් 17 උපත ලැබූ ඇය රාජ්‍ය නායකත්වයට පත්වීම සමස්ථ කාන්තා පරපුරට මහත් ආඩම්බරයක් උනා පමණක් නොව ඉතා වැදගත් සිදුවීමක්ද විය. නමුත් අවාසනාවට එතුමිය වටා එක් රොක් වී සිටියේ සිංහල බෞද්ධ ජාතික චින්තන කාරයන් පිරිසක් සහ හාමුදුරුවරුන් පිරිසකි  ඒ හේතුවෙන් ඇයට බටහිරින් පැනනැගුනු කාන්තාවට ලැදි කාන්තා විමුක්ති ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම අපහසු විය. එය ඇත්තෙන්ම මෙරට කාන්තාවන් සම්බන්ධයෙන් මහත් අවාසනාවකි.


Saturday, May 17, 2014

පුරුෂයාගේ වහලියන් හෙවත් නැණවත් ගෘහණියෝ


ලිපිය සකස් කරන්න හිතුවේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිතර දෙවේලේ අහන්නට දකින්නට ලැබෙන වෙළඳ දැන්වීම් කෙරෙහි පොඩි අවධානයක් යොමු කරපු නිසයි. මේ වෙළඳ දැන්වීම් වලින් බොහොමයක් එදිනෙදා ජීවිතයේ මූලික කාර්‍යන් වන ආහාර පාන ගැනීම ඇඳුම් ආයිත්තම් විලාසිතා කිරීම ආදිය සම්බන්ධවයි. මෙහිදී ආහාරපාන සම්බන්ධ වෙළඳ දැන්වීම් වලින් හැමවිට සම්ප්‍රදායික ගෘහණිය උලුප්පා පෙන්වමින් ඇය ගැන වර්ණනා කිරීමට පුරුෂාධිපත්‍යවාදී සමාජ රාමුව තුල සිටින ධනවාදී වෙළඳ ව්‍යාපාරිකයා හැම විට උත්සහ කරයි.
                         විශේෂයෙන් ආහාර පාන සම්බන්ධ වෙළඳ දැන්වීම් වලදී මුළුතැන්ගෙය උලුප්පමින් එහි සම්ප්‍රදායික අයිතිකාරිය වන ගෘහණියට  මුල් තැනක් දෙන්නේ කාන්තාවන්ට මුලුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු අනිවාර්‍ය බව සමාජයට ඒත්තු ගැන්වෙන ආකාරයටයි. කපටි පුරුෂාධිපත්‍යවාදී ව්‍යාපාරිකයා මෙහිදී ඇය නැණවත් ගෘහණියක් ලෙස හඳුන්වන්නේ තම වහලියන් ලෙස කාන්තාව පුරුදු පුහුණු කිරීමේ ප්‍රයත්නයේ එක් කොටසක් ලෙසයි. මෙරට වෙළඳ දැන්වීම් වලට පෙනී හිටින ඇතැම් මෝඩ කාන්තාවන්ට මෙය තේරුම් ගන්න හැකියාවක් නැති වීම සැබවින් කණගාටුදායකය. මොවුන් රත්ති රසයි රත්ති උකුයි වගේ කොම්පැනි කාරයන් උගන්වන වාක්‍ය උජාරුවට කියමින් රූපවාහිනී කැමරා ඉදිරියේ රඟපෑමක් කරන්නේ කාන්තාවගේ ප්‍රගතියට බාධාවක් වන විලංගුව බෙල්ලටම දමාගෙන බව ඔවුන් නොදනිති. කිරිපිටි දැන්වීම් වල සිටින නැණවත් මවුවරුන්ද මේ ආකාරයේම සම්ප්‍රදායික කාන්තා චරිත බව කියන්නට දෙයක් නොවේ. ඔවුන් මේ රඟදක්වන්නේ කාන්තාවට අයිති පිරිමි ගෘහමූලිකයාගේ කුස්සිය බවත් ඉවුම් පිහුම් හා දරුවන් හැදීමෙන් තොර වෙන දෙයක් කාන්තාවන්ට නැත යන්නත් ඇඟවෙන පුරුෂාධිපත්‍ය කතන්දරයේ එක් ජවනිකාවක් පමණයි. මේ වගේ කාන්තාවන්ට කොතෙක් පෙනුම තිබුණත් වැඩක් නැත්තේ හිතන්නට මොළ කළඳක් නැති මෝඩ චරිත නිසාමයි.


                            වෙළඳ ප්‍රජාව විසින් ඉදිරිපත් කරන දැන්වීම් අතර තවත් ජනප්‍රිය දෙයක් වන්නේ සබන් හා රෙදි සෝදන යන්ත්‍ර ආදිය ගැන දමන ඒවායි. එහිදීද කාන්තාවට සම්ප්‍රදායික ලෙස පිරිමියාගේ රෙදි ටික හෝදන රාජකාරිය පැවරෙන්නේ ඉතා සූක්ෂමවය. සියල්ල සිදුවන විට රෙදි සෝදන ගැහැණිය නැණවත් ගෘහණියයි. නැණවත් ගෘහණියන්ගේ තේරීම අර පුරුෂාධිපත්‍ය ව්‍යාපාරිකයාගේ සබන් කැටය හෝ වොශින් පවුඩර් පැකට්ටුවයි. අහෝ කරුමයක මහත. නැණවත් ගෘහණිය වී අර වෙලෙන්දාගේ සබන් කැටය පාවිච්චි කර රෙදි ටික හෝදාගන්න විට තමා නිවස තුල නොදැනුවත්වම මෙහෙකාරියකගේ තත්වයට පත්වී හමාර බව මොවුන්ට නොවැටහෙයි. තවත් සබන් නිෂ්පාදකයෙකුට ඔහුගේ සබන් කෑල්ල කාන්තාවන්ගේ රුව වඩන හා රූපය රකින අරුමපුදුම දෙයකි. එහෙත් මෙලෙස රුව වැඩීමෙන් කාන්තාවන්ට අවසානයේ සිදු වන්නේ පිරිමින්ගේ කාම උමතුවට තම සිරුර පූජා කර ඔවුන්ගේ කාම වස්තු වීමට මිස අන් කිසිවක් නොවේ. ඒටික නොතේරීම ඉමහත් අවාසනාවකි. බොහෝ කාන්තාවන් පිරිමින්ගේ කාම සන්තර්පණයට තම සිරුර පිදීමට කැමැත්තක් දැක්වීම සියල්ලට වඩා අවාසනාවන්ත දෙයයි. ඒ ඔවුන්ටද පිරිමින් සමග ලිංගික සංසර්ගයේ යෙදෙමින් තෘප්තිය ලැබීමට කාම උමතුවක් තිබීමේ හේතුවෙනි.
                     
         මේ සියල්ලට නැවතීමේ තිත තැබීමට කාලය දැන් උදා වී ඇත. මෙකළ කාන්තා පරපුර සිතට ගතයුත්තේ පිරිමින්ගේ සම්ප්‍රදායික වහලිය වන නැණවත් ගෘහණියගේ චරිතය රඟ දක්වමින් සමස්ථ කාන්තා පරපුරේම ඉදිරි ගමන වලක්වන මෝඩකම තුල තවත් එල්බගෙන සිටින  ආකාරය නොව මේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය සමාජ රාමුවම මුලිනුදුරා දමන ආකාරයයි. ඒ සඳහා වත්මන් කාන්තා පරපුර නව ලොව දැනුමෙන් සන්නද්ධ කළයුතුව ඇත. එය කාන්තාව සම්බන්ධයෙන් සලකා බලන කළ යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයකි.
                              

Sunday, April 27, 2014

ශ්‍රී ලාංකේය කාන්තාවාදය ඔප්නැංවූ ලේඛිකාව

අද මා කතා කිරීමට අදහස් කළේ  මෙරට කාන්තාවන්ගේ පැත්තෙන් බලන විට  විශේෂයෙන් වැදගත් වන එක් කාන්තා චරිතයක් ගැනයි. ඇය ගැන වැඩි විස්තර කීමට අවශ්‍ය නොවන්නේ නම කියූ පමණින් ඇය කවුදැයි සැවොම හඳුනන නිසායි. මේ අන් කවරෙකුවත් නොව සුමිත්‍රා රාහුබද්ද යි. ඇයව මෙරට බොහෝ දෙනා හඳුනාගෙන ඇත්තේ ප්‍රකට ලේඛිකාවක ලෙසය. නමුත් ඇය ගැන බොහෝ දෙනෙක් නොදන්නා දෙය නම් ඇය මෙරට සිටින ප්‍රභල කාන්තාවාදිනියක් යන්නයි. ඒ බව බොහෝ විට ඇය තම සාහිත්‍ය කෘති වලිනුත් ඔප්පුකර ඇත. ඇය මෙරට කාන්තා කටයුතු අමාත්‍යංශයේද වැදගත් තනතුරක් හොබවන්නේ ඇයගේ වටිනාකම හා හකියාවන් කාන්තා කටයුතු ඉදිරියට ගෙනයෑමේදී කොතරම් වැදගත් දැයි රටට පෙන්වාදෙමිනි.
                              


   ලේඛිකවක් හැටියට තම හැකියාවන් මනාව පෙන්නුම්කළ ඇය ශ්‍රී ලාංකික කාන්තා පරපුරට ඇති සුවිශේෂී සමාජ ගැටලු ගැනද මනා අවබෝධයකින් කටයුතු කළාය. ඇය නොබියවම මෙරට කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් ගැන කතා කළේ පීඩාකාරී පුරුෂාධිපත්‍ය තුට්ටුවකට මායිම් නොකරය. බවලත් අයට බලවත් අතවර හා අකටයුතුකම් සිදුවන බව ඇය වරක් පුවත්පත් සාකච්ඡාවකදී කියා තිබූ ආකාරය මට මතකය. කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් ගැන කොපමණ සංවේදී බවක් ඇයට තිබෙනවාද යන්න මෙයින් පෙනේ. ඇය කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා හින්සන ක්‍රියා වලට එරෙහිවද නොබියව තම අදහස් ඉදිරිපත් කරන්නීය. පුරුෂාධිපත්‍යවාදී සමාජ වටපිටාවක අභියෝග ජයගනිමින් සමාජයට හා කාන්තා පරපුරට වැදගත් ආදර්ශයන් ලබාදෙමින් ඇය කරන මෙහෙවර මහත් සේ අප අගය කළයුතුය. ඇයගැන මේ සුවිශේෂී කාරණය නොදැන සිටි බොහෝ දෙනෙකුට ඒ ගැන දැනගැනීම සඳහාත් ඇයගේ චරිතය කාන්තාවන්ට කොපමණ වැදගත්ද යන්න පෙන්වා දීම සඳහාත් මේ කෙටි ලිපිය පළ කිරීමට අදහස් කළෙමි.

Sunday, April 13, 2014

සම්ප්‍රදායික සිංහල අවුරුද්ද නවීකරනය කළයුතු කාලයයි මේ



සිංහල අළුත් අවුරුද්ද ගැන කතාකරන්නට එක් එක් කෙනාට බොහෝ දේ ඇතත් මට ඇත්තේ සම්ප්‍රදායෙන් බැහැරව කතා කිරීමට කරුණු ටිකකි. මෙය සිංහල දෙමළ හෝ සිංහල හින්දු අළුත් අවුරුද්ද ලෙසත් හඳුන්වනු ලබයි. ඒ කෙලෙස හැඳින්වුවද මේ ජාතික උත්සවයේ ඉතිහාසය හෝ වෙනත් කරුණු කුමක් වුවත් එහි තිබෙන සම්ප්‍රදායික ලක්ෂණ කාන්තාව කෙරෙහි බලපාන ආකාරය නූතන ඇසින් බලා විග්‍රයක් කිරීම මගේ අරමුණයි.
                              

   අළුත් අවුරුද්දේ වැදගත්ම චාරිත්‍ර ටික පටන්ගන්නේ ලිප ගිනි මෙලවීමේ සිටය එතැන් සිට වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකැත් වේලාව අනුව සිදුකරනු ලබයි. මේ සිද්ධි සැලකීමේදී අපට පැහැදිලිව පෙනෙන එක් දෙයක් නම් කාන්තාව සම්ප්‍රදායික ගෘහණිය ලෙස ඇය තවත් කුස්සිය මුල්ලටම තල්ලු වීමයි. එය මනාවට පෙන්නුම් කරන්නේ අළුත් අවුරුද්දට නිවසේ කාන්තාව, මව විසින් ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රය ඉටු කිරීම අනිවාර්‍ය දෙයක් වී තිබීමෙනි. ලිප ගිනි මෙලවීම යනු මුලුතැන්ගෙයි ඉවුම්පිහුම් කටයුතු සමග එකට සම්බන්ධ වූ දෙයකි. එවැන්නක් වැදගත් චාරිත්‍රයක් වීමෙන් පෙන්නුම් කරන්නේ කාන්තාව සම්ප්‍රදායික ගෘහණිය වීමද ඒ හරහා වැදගත් දෙයක් ලෙස ඉස්මතු කිරීමයි. මේචාරිත්‍රය වටා බැඳෙන අනෙක් සිද්ධිය වන්නේ කිරිබතක් පිළියෙල කිරීමයි. කිරිබතක් පිසීමට දැනගෙන හිටීම කාන්තාවන්ට අනිවාර්‍ය දෙයක් වන තරමට මෙය අප සමාජයේ මුල්බැසගෙන ඇත.  ඇත්තෙන්ම අවුරුදු චාරිත්‍ර වල වැදගත්මක් තිබුණද ලාංකීය කාන්තාවට සිය සම්ප්‍රදායික සීමා මායිම් බිඳදමා නූතනත්වය කරා යන්නට තිබෙන සමාජමය බාධකයන් ඒ තුලින් තවත් දැඩි වීමනම් පැහැදිලිව පෙනෙන සත්‍යකි. එබැවින් මේ චාරිත්‍ර කාන්තාවට පමණක් සීමා කිරීම නොකිරීම හෝ අවම වශයෙන් කළ හැකිනම් එය යහපත් වේ. විශේෂයෙන් පිරිමින්ද කාන්තාවන් සමග කුස්සියේ වැඩකටයුතු බෙදාගන්නා මේ කාලයේ. ඇත්තෙන්ම  එවැනි චාරිත්‍ර ඉවත් වන්නේනම් මා එයට පෞද්ගලිකව කැමතිය. එහෙම නැත්නම් සිංහල අළුත් අවුරුද්ද කාලයට අනුව නවීකරනය කරයුතුයි.
                            ලිප ගිනි මෙලවීම හා කිරිබත පිසීමට පසුව එළඹෙන්නේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයයි. වැඩ ඇල්ලීමේදී කැපී පෙනෙන්නේ පිරිමි පාර්ශවය කරන වැඩකටයුතුය. බොහෝවිට ගම් වලනම් කුඹුරු වැඩ හා සම්බන්ධ දේ කෙරෙයි. කාන්තාවන් එම වැඩ කටයුතු වල බහුලව නිරත නොවන බැවින් කාන්තා ක්‍රියාකාරකම් එහිදී කැපී පෙනෙන්නේ නැත. මෙයින් පෙනෙන තවත් එක් දෙයක්නම් සමාජයේ පවුල් නඩත්තු කිරීම ඇතුලු වගකීමෙන් යුතු මෙන්ම තරමක් මහන්සි වී කළයුතු වැඩකටයුතු සියල්ල පිරිමින් විසින් පමණක් කළයුතුය යන සමාජ පිළිගැනීමයි. කාන්තාවන් පමණක් කරන කොතෙකුත් දේ තිබුණත් ඒ ගෘහ කටයුතු හා ඊට සම්බන්ධ දේට පමණක් සීමා වන දේවල් වේ. ඒ කිසිත් කාන්තාවන් විසින් ඉස්මුදුනේ තබාගැනීමද නුවනට හුරු නැත. එබැවින් වියයුත්තේ මහන්සිවී ශරීර ශක්තිය යොදවා කරන වැඩකටයුත්තක් සමග වැඩ ඇල්ලීමේ ක්‍රියා පිළිවෙතක් කාන්තාවන්ටද අදාල වන ලෙස මේ සිරිත නවීකරනය වීමයි.  ඇත්තෙන්ම ඊට බාධාවක් ඇතැයි කියා සිතන්නටත් බැරිය. හේතුව කාන්තාවන් එවැනි වැඩ කටයුතු වලට යොමු වීමට දක්වන මැලිකම යම් බාධකයක් වී ඇත. එය ඉවත්කර සම්ප්‍රදායෙන් මිදියහැකිනම් ප්‍රශ්නයක් නැත.
                              
   ගනුදෙනු කර ආහාර අනුභවය සැලකීමේදී ගනුදෙනු කිරීම සම්බන්ධයෙන්නම් එතරම් ගැටලු නැතත් ආහාර අනුභව කිරීමේ චාරිත්‍රය සලකන විටනම් ඒ ගැන යමක් නොකියා බෑ. එහිදී බොහෝ විට පවුලේ වැඩිහිටි පිරිමි කෙනෙකු සෙසු සාමාජිකයන්ට කිරිබත් කැවීම සිදුකරන්නේ සාමාන්‍යයෙන් ගෘහ මූලිකත්වය පුරුෂයාට හිමිවන කාරනය ඉස්මතු කරමිනි. කාන්තාවන් එම කාර්‍ය කරන්නේ කලාතුරකිනි, එයද පවුලේ වැඩිහිටි පිරිමි අයවලුන් නොමැති අවස්ථා වලයි. මෙයද සම්ප්‍රදායෙන් බැහැර වෙමින් කාන්තාවට කළ හැක. එහෙත් සම්ප්‍රදාය මත හිතන පතන පිරිස තවමත් වැඩි බැඇවින් එවැනි වෙනසක් උවමනාවෙන් කළ නොහැක. එයට බාධාවක්ද ඇතැයි සිතීමටද බැරිය.
                              
    කතාකිරීමට වැදගත් වන අනෙක් චාරිත්‍රය නම් හිස තෙල් ගෑමයි. එහිදී බොහෝ විට මේ චාරිත්‍රය කරනු ලබන්නේ හාමුදුරුනමක් හෝ ගමේ වෙදමහතා මූලිකත්වය ගෙනයි. එහිදීද සම්ප්‍රදායිකව මුල් වන්නේ පුරුෂ පාර්ශවය වන අතර කාන්තාවන් තව දුරටත් සම්ප්‍රදාය තුල කොටු වෙමින් පුරුෂයා ප්‍රභූත්වයට පත්වෙයි. සම්ප්‍රදායෙන් බැහැරව මේ කටයුත්තද නවීකරනය කළහැක. ඒ දේශීය වෛද්‍ය විද්‍යාව කාන්තාවන්ද මෙකළ හදාරන බැවින් හා වෙද මහත්වරුන්ට අමතරව වෙදහාමිනේලාත් ටික දෙනෙක් හෝ සිටින බැවින් වෙද මහත්වරුන්ට මෙන්ම වෙද හාමිනේලාටද එම කාර්‍ය කළහැකි නිසයි. ඒ අනුව කාන්තාවන්ටද හිසතෙල් ගෑමේ චාරිත්‍රයේදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට අවස්ථාව ලබාගනිමින් එය කාලානුරූපීයව නවීකරනය කළ හැක.
                              ඕනෑම දෙයක් කාලයත් සමග වෙනස් වේ. වෙනස් වනවා පමණක් නොව නවීකරනයට බඳුන්වේ. එහිදී චිරාගත සම්ප්‍රදායන් ලොව කොතැනත් වෙනස්කම් හා නවීකරනයන්ට භාජනය වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ විෂමතා තුරන් වන ආකාරයටයි. එක් අතකට අප අවුරුදු චාරිත්‍ර වුවත් කරතබාගෙන යායුතු නැත. මන්ද වත්මන් කාර්‍ය බහුල සමාජයට මේ චාරිත්‍ර කරමින් කාලය ගතකිරීමට ඉඩ ප්‍රස්ථාව අඩු නිසා. මේ චාරිත්‍ර වැදගත් යැයි සම්මතයක් තවම තිබෙන බැවින් ඒවා නවීකරනයට භාජනය වියයුතු බව මෙහිදී නැවතත් මතක්කර දෙන්නට කැමතියි.

Sunday, April 6, 2014

නීතීඥ නිමල්කා ප‍්‍රනාන්දු

පුරුෂාධිපත්‍යට එරෙහිව අභීතව හා අව්‍යාජව හඬ නැගූ ගැහැනිය.



මෙම සාකච්චාව නීතීඥ නිමල්කා ප‍්‍රනාන්දු 2008 නොවැ-දෙසැ


 ‘ත‍්‍රිමාන’ සඟරාව සමඟ පැවැත්වවූකි.


ඔබට ලංකාවේ ස්ත‍්‍රිය හා 


පුරුෂයා ගැන තියෙන්නේ 



මොනවාගේ අදහසක්ද? 


හරි ලස්සන මාතෘකාවක් කියලා මං හිතනවා. ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ගැන කතා කරද්දී හරිම ගතානුගතික චිත‍්‍රයක් තමයි මට මැවෙන්නේ. අධ්‍යාපනය අතින් හා සාක්ෂරතාව අතින් කොතරම් අපේ සමාජය දියුණුයි කිව්වත්, මම නම් අත්දැකීමෙන් දන්නවා ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ඉතාම ගතානුගතික, වැඩවසම් හා පසුගාමී චින්තනයකින් අනුන දෙන්නෙක් කියලා. කොළඹ නගරය තුළ කොතරම් මෝස්තර අනුගමනය කරනවා අපි දුටුවත් මේ අය තුළ තිබෙන සංස්කෘතික මතිමතාන්තර ඉතාමත් පසුගාමීයි.

ලංකාවේ මහපාරට බැස්සම අපට පෙනෙන ස්ත‍්‍රීන් හා පුරුෂයන් හරියට නිව්යෝර්ක්, පැරිස් හා ලන්ඩන්වලින් බැහැපු අය වගේ. සියලූ දෙනාම මොඞ්. සේරම සමානයෝ. මේක කොහොමද තේරුම් ගන්නේ ?
මොඞ් ගතිය තියෙන්නේ ඇඳුමෙන් විතරයි. අභ්‍යන්තරය මොඞ් නැහැ. මං කියන්නේ 70 දශකය මීට වඩා මොඞ්. අපි අද මෙවැනි ක‍්‍රියාකාරීත්වයක ඉන්නේ ඒ වකවානුවේ තිබුණු ඒ තත්ත්වය නිසයි. නමුත් අද පරම්පරාවේ ස්ත‍්‍රීන් හා පුරුෂයින් මේ මෝස්තර ආරූඪ කරගන්නේ, තවර ගන්නේ, අනුකරණය කරන්නේ තමන් නොමැති පන්තියක ඉන්නවා කියා පෙන්වන්න. මේ පන්තිකරණය ව්‍යාජයක්. හැට ගණන් වල අපිත් පන්තියෙන් පිට පැනීම සඳහා ගමට ගියා. ග‍්‍රාමීය ගොවියන් සමඟ කටයුතු කළා. මම පවා එදා ඇඳුමෙන්-පැළඳුමෙන් එවැනි වෙනසක් ඇති කරගත්තා. පසුව අපි ව්‍යාපාරගතවීමත් එක්ක අපේ ජිවිතවල සැබෑව මතුකර ගැනීමට ඒ වෙනස ඉවහල් වුණා. නමුත් මේ තියෙන මොඞ් ගතිය තුළ අපේ ස්ත‍්‍රීන් සහ පුරුෂයන්ගේ ඇඳුම හැර ඔවුන් තුළ හරයාත්මක බවක් නැහැ. අපේ මොඞ් නළුවෙකුගෙන්, නිළියකගෙන් ඇහුවොත් මොකක්ද ජීවිතයේ පරමාර්ථය කියලා ඔවුන් කියන්නේ, ‘හොඳ බිරිඳක් හෝ හොඳ ස්වාමි පුරුෂයෙක් වෙලා දරුවන් හදා ගෙන තමන්ගේ නිවහනක ජීවත්වීම කියලා. කලාව කියන්නේ මොකක්ද කියාවත් මේ අය දන්නේ නැහැ. ඇඳුමෙන් සමානයන් වී පන්ති පරතරය බොඳවීම මම දකින්නේ ධනාත්මක දෙයක් ලෙස. ඒ ලිබරල්කරණයට මං කැමතියි. නමුත් ගැටළුව වෙන්නේ ඒ මොඞ්වීම ඇතුළාන්තයට නොයෑම.

ඔබ විශ්වාස කරන ආකාරයට ස්ත‍්‍රිය හා පුරුෂයා පැමිණෙන්නේ, ලෝක දෙකකින්ද නැතිනම් එකම ලෝකයක් තුළ ඉන්න එහෙත් එකිනෙකාගෙන් වෙනස් බව පෙන්වීමට උත්සාහ කරන අනන්‍යතා දෙකක් විදිහටද?
ඇත්තටම ස්ත‍්‍රිය හා පුරුෂයා එන්නේ ලෝක දෙකකින්. හේතුව තමයි ඔවුන්ගේ ජීව විද්‍යාත්මක වෙනස ඔවුන්ගේ මානසික ක‍්‍රියාකාරීත්වයට බලපානවා. ඒ නිසා අනිවාර්යෙන්ම දෙන්නා එන්නේ ලෝක දෙකකින්. මම හිතන්නේ ඔවුන් යම් සම්මුතියකට එන්න අනන්‍යතා දෙකක් වෙනුවට එක් අනන්‍යතාවක් හදා ගන්න උත්සාහ කරනවා කියලයි. තරුණ තරුණියෝ කියන්නේ අපි එකා වගේ ඉඳිමු කියලයි. ඒක එක්තරා විදියකට සුන්දර සිහිනයක්. නමුත් තම තමන්ගේ හැසිරීම් රටාවන් සහ අනන්‍යතාවන් වෙනස් වෙන්නේ නැහැ. මේ දෙන්නා අතර සබඳතාවයකදී එකඟවෙමින් යම් සම්මුතිගත වීමක් සිදුවෙනවා එච්චරයි. ජිවිතයේ පනස් විය පසු කරන අවස්ථාවේදී මට කියන්න පුළුවන් ඒ එක වගේ කියන කාරණය මීට වඩා යථාර්ථවාදීව සිතිය යුතුයි කියලා. අපි හදාගත යුත්තේ එක වගේ එකකට වඩා නිර්මාණාත්මක පසුතලයක්.
මොකක්ද ලිංගික වෙනස කියන්නේ. Antagonism හෙවත් පසමිතුරුතාවක්ද එහෙම නැත්නම් contradiction හෙවත් ප‍්‍රතිවිරෝධයක්ද?
නෑ මං දකින්නේ එය Antagonism එකක් විදිහට නෙමෙයි. contradiction එකක් විදියටත් නෙමෙයි. complementary එකක් විදිහට. පිරිමියෙක් ලිංගිකත්වය සම්බන්ධයෙන් හෝ පිරිමියෙක් ලබන්නා වු ආශ්වාදය ගැහැනියකගේ ලිංගිකත්වය පිළිබඳ තියෙන්නා වූ ආශ්වාදය කියන්නේ පැහැදිලිවම තත්ත්ව දෙකක්. ඒ නිසා බොහෝ විට Antagonism එකක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. නමුත් එය කර ගන්න පුළුවන් නම් තමයි එහි තිබෙන්නා වූ සාර්ථකත්වය තියෙන්නේ.
පේන්න තියෙන විදිහට රටේ සිදුවන බරපතල අවමානුෂිකකරණය ඉදිරිපිට ස්ත‍්‍රීන් නිහඬයි. පාරට බැස්සම පේන්නේ පවතින ක‍්‍රමයට ඔවුන් පක්ෂපාතී වන ආකාරයක්. ස්ත‍්‍රීන්ගේ මේ වෙළෙඳපොල හරහා උපුටාගත් බාහිර අලංකාරණයෙන් පිරිමින්ද මුසුපත් වී ඇති බවක් පෙනෙනවා. මේ පිළිඹිබුව, ස්ත‍්‍රීවාදයේ තාර්කික අවසානයකට අප පැමිණ තිබෙන බවද?
මම හිතන්නේ නැහැ. ස්ත‍්‍රීවාදය කියන කාරණාව මමවත් තවමත් හරිහැටි තේරුම් ගත්ත තැනක නෙමෙයි ඉන්නේ කියලා මම මේ ප‍්‍රශ්නයට උත්තර දෙන්න ලෑස්තියි. අවාසනාවකට ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම්, ස්ත‍්‍රී විමුක්තිය හා ස්ත‍්‍රීවාදය සම්බන්ධයෙන් අප අතර තිබිය යුතු ඒ තාර්කික තේරුම් ගැනීම, අත්දැකීම් හරහා එය අත්වීඳීම කියන කාරණා ගත්තොත් අපි හැමෝම එක් එක් තලවල සිට එහි ස්වභාවයන්, අර්ථනිරූපණය කිරීමට දරපු වෑයමක්. ඒ නිසා කෙනෙක් ලස්සන වීම කියන එක ස්ත‍්‍රීවාදය හා කාරණයක් නෙමෙයි. ස්ත‍්‍රී අලංකාරයට මුසපත් වෙන්නේ පිරිමිනේ. ඇයි පිරිමි මුසපත් වෙන්නෙ. අහක බලාගෙන යන්න පුළුවන්නෙ.

ස්ත‍්‍රීන්, පිරිමින්ගේ වහල්ලූ වූ යුගය අවසන්වී පිරිමීන්, ස්ත‍්‍රීන්ගේ වහල්ලූ බවට පත් වී ඇති යුගයකට අපි අවතීර්ණ වී ඇතැයි අපි පුරුෂාධිපත්‍යයෙන් යුතුව ප‍්‍රකාශ කළහොත් මොකක්ද ඊට ඔබ දක්වන ප‍්‍රතිචාරය?
ඇත්තටම පවුල කියන මුළු ඒකකයම වහල් කඳවුරක්. එය ලතින් භාෂාවෙන් ‘ෆැමිලියා’ නේ. පුරුෂයා ස්ත‍්‍රියට වහල් වීමත්, ස්ත‍්‍රිය පුරුෂයාට වහල් වීමත් පවුල් ඒකකය තුළ අනිවාර්යයක්. එහි අඩුවැඩි වීම ඒ ඒ පවුලේ බලතුලනය අනුව සිදුවන්නක්. එහි ආධිපත්‍යය අනුව සිදුවන්නක්. මේ ස්ත‍්‍රිය සහ පුරුෂයා අතර තිබෙන වහල්භාවය නැති කරන්න තමයි අප මේ ස්ත‍්‍රීවාදය කියන සංකල්පය ඉස්මතු කරන්නේ. මටත් ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඉදිරියට තියෙනවා.

ධනවාදී වෙළෙඳපොළ ලිංගික වෙනස සමජාතීයකරණය කරමින් ඉන්නවා. එය විසින් ගැහැනුන්, පිරිමින් කරන අතර පිරිමින්, ගැහැනුන් කරමින් ඉන්නවා. මෙහිදී අවශ්‍ය වෙන්නේ පිරිමි සහ ගැහැනුන් අතර වෙනස සඳහා සටන් කිරීම ද නැතිනම්, ලිංගික වෙනස සමානාත්මතාවක් වන තෙක් සටන් වැදීම ද?
නෑ. ලිංගිකත්වය කියන එක අපට සම කරන්න බැහැ. ලිංගිකත්වය යොදා ගැනීම සම්බන්ධ කාරණාව ගත්තොත්, කාන්තාවන් ලිංගිකත්වය තුළින් ආශ්වාදය ලබා ගැනීම සහ පුරුෂයා ආශ්වාදය ලබා ගන්නා ආකාරය අතර යම් පරතරයක් තිබෙනවා නම්, එය සම්බන්ධයෙන් තියෙන අභියෝගයන් තමයි අපිට ඔතනදී සාකච්ඡා කරන්න වෙන්නේ. ගෝලීයකරණය හෝ මුලධර්මවාදය හෝ මේ කියන ඒකාකාරී සංකිර්ණ මහා ක‍්‍රියාවලිය තුළින්ම තමයි මේ ස්ත‍්‍රිය හා පුරුෂයා තුළ ඔබ මතු කළ විපරීත ස්වභාවය මතුවෙන්නේ. එය තේරුම් ගැනීම සඳහා වන දෙයක් විධියටයි මම මේ ප‍්‍රශ්නේ දිහා බලන්නෙ. ස්ත‍්‍රීන්, පුරුෂයන් බවට පෙන්වීම හෝ පුරුෂයන්, ස්ත‍්‍රීන් ලෙස පෙන්වීම හෝ කියන්නේම මේ ගෝලීය ධනවාදී තරඟකාරී වෙළෙඳපොළ හසුරුවා ගැනීම සඳහා විවිධ විලාසිතාවන් අතර ඇතිවන්නා වූ තරඟයක් හැටියට මිස ලිංගිකත්වයේ වෙනසක් ඇති කරන්න හදන දෙයක් ලෙස නෙමෙයි.

ඔබ වඩාත් කැමති ගැහැනුන් සහ පිරිමි එක වගේ වෙනවටද එහෙමත් නැත්නම් ඔවුන් අතර ප‍්‍රතිවිරෝධතා හා ගැටුම් තියෙනවටද ?
මං කැමතියි ප‍්‍රතිවිරෝධතා හා ගැටුම් තියෙනවා නම්. මොකද ඒ ප‍්‍රතිවිරෝධතා තුළින්ම තමයි නිර්මාණාත්මකභාවයක් ඇතිවන්නේ. එක වගේ වුණාම හරි ඒකාකාරියිනේ. මම, මම වන අතරම මම කැමතියි මා සමඟ සම්බන්ධ වන පුරුෂයා ඔහු, ඔහු වෙනවට. අපි අතර පවතින සම්බන්ධතාවය තුළ ඒ නොගැලපීම හා ගැටුම් නෙගෝසියේට් කර ගන්න ඕනේ. හැබැයි පිරිමින්, පිරිමි වෙන්න ඕන කියන එකෙන් මං අදහස් කරන්නේ, ඔවුන් තුළ පුරුෂාධිපත්‍යය තිබිය යුතුයි යන්න නොවෙයි.ආධිපත්‍යභාවය පිරිමියා තුළ පමණක් නෙමෙයි ගැහැනිය තුළත් තිබිය යුතු නැහැ. ගැහැනිය රැකියාවට ගියාම පිරිමියා කරන්නේ ටෙලිෆෝන් කර කර මොනිටර් කරන එක. ගැහැනිය කරන්නේත් එයමයි. ඉතින් ලංකාවේ අපි මේකට කියනවා පවුල කියලා. දෙන්නම ඉන්නේ කූඩු වෙලා. ඒ නිසා අපි ඉන්නේ ‘ෆැමිලියා’ තුළ.
ස්ත‍්‍රිය පිළිබඳව ග‍්‍රාමීය පිරිමින්ට ඇති රත්නවල්ලි කුතුහලය සහ ලිංගික නිවටකම ගැන ඔබේ අදහස මොකක්ද ?
ඔය ප‍්‍රවාද කියන්නේ ගැහැනියගේ ලිංගිකත්වය තියෙන්නේ තමන් සතුව යැයි කියන මහා ප‍්‍රවාදය තුළනේ. ගැහැනියගේ ලිංගිකත්වය පවතින්නේ පුරුෂයාගේ ආශ්වාදය සඳහාය යන්න තමයි මහා ප‍්‍රවාදයේ අදහස. මේක මට මතවාදයක් හැටියට පිළිගන්න බැහැ. නමුත් කාන්තාවකගේ ලිංගිකත්වය ඇයට අයිති නොවන බව නම් මට කියන්න වෙනවා. ස්ත‍්‍රීවාදය තුළින් මතු කරන්නේ අපේ ලිංගිකත්වය අපට අයිතියි, අපේ ඇඟ අපට අයිතියි, එය හසුරුවා ගැනීමේ අයිතිය අපට තිබිය යුතුයි යන්නයි. ඒ නිසා අර රත්නවල්ලි කතාවේ ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ, අපේ සාරය අපි කාටහරි දීලා. ස්ත‍්‍රී සාරය ඒ නිසා අපි ළඟ නැහැ. එය නැවත අපි ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ කාරණය තමයි අපි මතුකර ගන්න ඕනේ. නිදර්ශනයක් විදිහට මම ඊයේ-පෙරේදා හින්දුන්ට සම්බන්ධ Divine Goddess කියන පොත කියෙව්වා. එහි සාකච්ඡා කරන්නේ රාධා-ක‍්‍රිෂ්ණා කතාන්දරයේ රාධාගේ චරිතය හා විෂ්ණුගේ බිරිඳගේ චරිතය. එය තනිකරම හින්දු මතවාදය මත ගොඩ නැගුවක්. මෙහි රාධා-ක‍්‍රිෂ්ණා සමව තබන අතර විෂ්ණු තමන්ගේ බිරිඳ පාදස්ථානයේ තබා ගන්නා බව හඟවනවා. ඒ කියන්නේ හින්දු-බමුණු වැඩවසම් සමාජය තුළ ගැහැනියකගේ සාරය තිබුණේ පුරුෂයා ළඟ. මං හිතන්නේ රත්නවල්ලි හා මෙය සමානයි.

ඇමෙරිකානු මැතිවරණ කි‍්‍රයාවලියට මෙවර සහභාගී වී ඇති සාරා පාලින් ඉදිරිපත් කරමින් සිටින්නේ ක‍්‍රිස්තියානි මුලධර්මවාදයක්. ලංකාවේ DAILY MIRROR කතුවරිය ඉංග‍්‍රීසි කතා කළත්, පන්තිය නාගරික වුවත්, ඇගේ පක්ෂය හෙළ උරුමයයි. හුඟක් ගැහැණුන් ප‍්‍රසිද්ධියේ නොවුණත් හදවතින් ම ජාතිවාදීයි. යුද්ධයට පක්ෂයි. සමාජ ක‍්‍රියාකාරිනියක් හැටියට ඔබ මේ නස්පැත්තිය තේරුම් ගන්නේ කොහොමද?
ඉහත කතුවරිය වගේ මේ සමාජයේ බොහෝ ගැහැනු මිනිසුන්ගේ contradiction එක එහෙම නැතිනම් ප‍්‍රතිවිරෝධය මම දැකලා තියෙනවා. පොදුවේ මට තියෙනවා ඔය කිව්ව දේට විරුද්ධත්වයක්. ඇත්තටම අපි වැඩ කරන ඈත ගම්වල ඉන්න අහිංසක, අසරණ ගැහැනු තුළ ඔහොම දෙයක් මම දැකලා නෑ. බලය සමඟ ගනුදෙනු කරන නාගරික කාන්තාවන් තුළ තමයි ඔය කියන ප‍්‍රතිවිරෝධය තියෙන්නේ. මම ගම්වල වැඩ කරද්දි හමුවන දයා එහෙම නැහැ. ශීලා එහෙම නැහැ. ගුණවතී එහෙම නැහැ. කොළඹ මධ්‍යම පාන්තික දිවිපෙවෙත් ගත කරන ගැහැනුන් නම් රාජපක්ෂගේ බලයෙන් උණුසුමක් ලබා ගන්න උත්සාහ කරනවා.


මේ ධනවාදී සංස්කෘතිය යුගයේ ස්ත‍්‍රී නිදහස වෙනුවෙන් හඬ නඟනවා කියන්නේ, පිරිමින්ගේ ගොදුරක් කියා කෑගැසීමද? නැතිනම්, මීට වඩා හොඳ සමාජ ක‍්‍රමයක් වෙනුවෙන් සටන් කිරීමද?
කාන්තා විමුක්තිය කියන වචනය අපේ ප‍්‍රවාද තුළින් බැහැරව තිබෙන සමයක මම තවමත් කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ එහි ගැඹුරුතම දේශපාලන අර්ථය තේරුම් ගත් අයෙකු නිසා. මම වාමාංශික ක‍්‍රියාදාමයකින් ආ නිසා විමුක්තිය කියන වචනය මම මුලින් ම ඇහුවේ පන්තිය කියන වචනයත් එක්කයි. මගේ දේශපාලනය හා සමාජ අත්දැකීම් තුළ මම විමුක්තිය කියන්නේ සමස්තයේම නිදහස කියන අර්ථයෙන්. එය පන්තියට සීමා කරන්න බැහැ. නමුත් සංක‍්‍රමණීය තත්ත්වය තුළ මම කැමතියි ලිබරල්වාදී ඇප්‍රෝච් එකක් තුළ ගමන් කරන්න. මට බැහැ මුළු සමාජ පෙරළියක් එනකං ඉන්න. නමුත් මගේත් අවසාන අරමුණ සමාජ පෙරළියක් තමයි

Saturday, March 8, 2014

කාන්තා දිනය තුල සැබෑ ලෙස කාන්තා උද්‍යේගයක් තිබුණාද?


තවත් එක් කාන්තා දිනයක් කිසිදු උද්‍යෝගයකින් තොරව ඈලිමෑලි දියාරු ගතියකින් ගෙවී ගියේය. මේ ගැන යමක් නොකියා සිටීමට අදහස් කර පසුව යම් කිසි දෙයක් කීමේ අදහසක් සිතට නැගුනේ සැබවින්ම මෙය අවාසනාවන්ත තත්වයක් ලෙස මට හැඟී ගිය නිසයි. ඇත්තෙන්ම කාන්තා විමුක්ති ව්‍යාපාරයන් කාන්තා නිදහස අගය කරන සමාජ බලවේග හා සිවිල් සංවිධාන මෙදා කාන්තා දිනයට රටට දැනෙන යමක් කිරීමට තබා සමාජයට යම් පණිවිඩයක් දෙන වැදගත් ප්‍රකාශයක් කිරීමට හෝ අසමත් වීම බෙහෙවින් කනගාටුදායකය. මේ තත්වය හමුවේ කාන්තාවන්ගේ ප්‍රගතිය හා නිදහස වෙනුවෙන් කළයුතු අරගලයකට මුලපුරන යම්කිසි ගැම්මක් ඇතික්කරවියහැකි වැඩපිළිවෙලකට මුලපිරීමට තිබූ අවස්ථාවක් ඔහේ නිකම් මගහැරී ගියේය. වෙනත් වසර වලදීනම් කතා කිරීමට කාන්තා ප්‍රශ්නද බොහෝ තිබුණි එහෙත් මේ වසරේ ප්‍රශ්න නැති උනාද? ඇත්තෙන්ම උනේ ප්‍රශ්න වැඩි වුවත් ඒ ගැන නිසි උනන්දුවක් නොදැක්වීමය. සියල්ලට වඩා කනගාටුදායක දෙයක් උනේ ජනමාධ්‍ය වලින්ද සුපුරුදු පරිදි කාන්තා වැඩසටහන් කිසිදු සටන්කාමී එඩිතර ආකාරයකින් පුරුෂාධිපත්‍යට එරෙහිව නැගීසිටීමට වඩා කිසිම පනක් නැති ආකාරයට මෙහෙයවීමයි.
                              

           කාන්තා විමුක්ති ව්‍යාපාරයන් බටහිර රටවල එලිබැසපු මුල් යුගවල ඒ ගැන කොපමණ උද්‍යෝගයක් තිබුණාද? එම රටවල කාන්තාවන් අද කොපමණ ප්‍රගතියක් අත්කරගෙන ඇත්ද? ඇත්තෙන්ම බටහිර සමාජයේ මේ පිළිබඳ කතිකාවතක් ගොඩනැගුනු මුල් යුගයේ පුරුෂාධිපත්‍ය ගැන විවේචන එල්ල උනා පමණක් නොව කාන්තාවන් සංවිධානාත්මකව හා ඉතාමත්ම ක්‍රියාකාරී ලෙස දැඩි උද්‍යෝගයකින් පුරුෂයාගේ ආධිපත්‍යට එරෙහිව සටන් කිරීමක්ද දක්නට ලැබිනි. එකළ කාන්තාවෝ දහස් ගණනින් පාරට බැස උද්ගෝෂණයන්හි නිරත විය. බොහොමයක් කාන්තාවෝ නිවෙස්වල ස්වාමි පුරුෂයන්ගෙන් සිදුවන අඩන්තෙට්ටම් වලට එරෙහිව ප්‍රබල හඬක් නැගුවෝය. තවත් විශාල පිරිසක් කාන්තා විලාසිතා වලට එරෙහි වූයේ එහි සැබෑ පසුබිම පුරුෂයාගේ කාම තෘප්තිය බවත් ඉන් කාන්තාවන්ට පිරිමින් පරයා නැගී සිටීමට ඇතිවන්නේ බාධාවක් බවත් හොඳින් තේරුම් ගනිමිනි. බොහේ කාන්තාවන් ගෘහණියන් ලෙස කුස්සියටත් හැඳිමිටටත් සීමා වී තිබූ ජීවිත වලට නැවතීමේ තිත තබමින් ඉන් ඔබ්බට ගොස රැකියාවල නිරතවූයේ සම්ප්‍රදායික ලෙස පිරිමින්ට සීමා වූ රාජකාරි වලටද ඇතුලත් වෙමිනි. 
                              
                       
       
                         දෙවන ලෝක යුද සමය කාන්තාවන්ගේ විමුක්ති මාර්ගය විවුර්තකළ කාලපරිච්ඡේදය විය. එසේ වූයේ ඇමරිකාවේ යුධ නීතිය යටතේ පිරිමින් සියල්ලන්ට යුධ සේවය අනිවර්ය වී කාන්තාවටද කම්හල් රැකියා විවුර්ත වීම තුලිනි. ඒ තුලින් කාන්තාවන් කර්මාන්තශාලා වල විශාල ලෙස විවිධ රාජකාරිවල නිරත වුනත් ඔවුන්ට ලැබුණේ පිරිමින්ට සාපේක්ෂව අඩු වැටුපකි. කාන්තාවන්ට වූ මේ අසාධාරණයට එරෙහිව ඔවුන් සංවිධානය වී අරගල කරන්නට ඉදිරියට ආවේ මේ කාලවකවානුවේදීය. කාන්තා විමුක්ති ව්‍යාපාරයේ ප්‍රභලම පියවර ලෙස ඉතිහාසගත වන්නේද මේ ක්‍රියාවයි. එතැන් පටන් ඉදිරියට ගිය කාන්තා විමුක්ති ව්‍යාපාරය බටහිරදී බොහෝ ජයග්‍රහණයන් අත්පත් කරගනිමින් අදටත් නොනවත්වා ඉදිරියට ඇදෙයි. අද බටහිර කාන්තාවන්ට කළ නොහැකි යමක් නැත. මේ වනවිට බොහෝ බටහිර මෙන්ම ජාත්‍යන්තර සංවිධාන වල වැදගත් තනතුරු බොහොමයක් කාන්තාවන් විසින් හොබවනු ලබයි. අද ලොව බොහෝ අධ්‍යාපන ආයතන වලද ඉගෙනීම ඉහලටම යන්නේ කාන්තාවන්ය. බටහිර සමාජය සලකා බැලීමේදී බොහෝ බටහිර රටවල පවුල තුලද සැමියාගේ හිතූමනාපයට බිරිඳ පාලනය කළ නොහැක. අද එම රටවල කාන්තාවන් තමන්ට රිසිසේ ඕනෑම කටයුත්තක් කරමින් ඉතා ඉහල නිදහසක් බුක්තිවිඳිති. ඒ සියල්ලට මනා පිටුවහලක් ලැබෙන්නේ කාන්තාවන්ගේ රැකවරනය වෙනුවෙන් පනවා ඇති නීති රීති බටහිර රටවල ඉතා දැඩි වීමයි.
                          කාන්තා විමුක්ති ව්‍යාපාරය ප්‍රගතිශීලී ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකාවට දැනට කලකට පෙර හන්දුන්වාදෙනු ලබුවත් එයින් සතුටුදායක ප්‍රතිඵල අත්වූයේ යැයි සිතීම අපහසුය. කෙසේ වුවත් එයින් මේවනවිට යම්කිසි යහපත් ප්‍රතිඵලයක් අත්වී නැතැයි කීමටද නොහැකි වේ. කාන්තා විමුක්ති ව්‍යාපාරය රට තුල වඩා ශක්තිමත් වූයේ ගරු චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනිය මෙරට ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස රටේ පාලනය හෙබවූ අවධියේයි. එවකට කාන්තාවන්ගේ රැකවරනය වෙනුවෙන් බොහෝ නීති සම්පාදනය විය. එසේම කාන්තාවන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සම්ප්‍රදායෙන් මිදී නූතන යුගයට ඔබින ලෙස බොහෝ වැඩසටහන් කෙරිනි. විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව යම් මට්ටමකට බොහෝ ක්‍රියාකාරකම් වල නිරත වීමට සාපේක්ෂව වැඩි නිදහසක් කාන්තාවන්ට මේ අවධියේ අත්විනි. ඉන්පසුවට කුමාරතුන්ග මැතිනිය ජනපතිනියව සිටියදීම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වෙමින් බිහිවූ රජය මගින්ද කාන්තාවන්ට යම් පමණක සේවයක් සිදුවුණේ ජාත්‍යන්තරයේද සිත් දිනාගනිමිනි.
                                      මේ සියල්ල හමුවේ අද වනවිට පවතින තත්වය කුමක්ද? එය කාන්තාවන්ටත් කාන්තා විමුක්ති ව්‍යාපාරයටත් හිතකරද? මෙය සැබෑවටම ප්‍රශ්නාර්ථයකි. චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියගේ සමයේ කාන්තාවන්ගේ රැකවරනය වෙනුවෙන් ලිංගික අතවර වල විවිධාකාර ස්වරූපයන්ට එරෙහිව තැනුනු නීති අද වනවිට ඒ තරම් සාර්ථකව ක්‍රියාත්මක නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි අවධියේ කාන්තා හින්සනයට හා ගෘහ ප්‍රචන්ඩත්වයට එරෙහිව පැමිණිලි භාරගෙන නීති ක්‍රියාත්මක කිරීමට ස්ථාපිතකළ පොලිස් ඒකක හරි හැටි ක්‍රියාත්මක නොවන බවක් ඒ මහතාද කියා තිබුණි. කාන්තාවන්ගේ ප්‍රගතිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහන් මේවනවිට ඉදිරියට ඇදෙන්නේ ඉතාම මන්දගාමීවයි. මෙවර කාන්තා දිනයේදී අප දැක්කේද එයයි. කාන්තා දිනයටද මෑතක සිට සිදුවන්නේ සම්ප්‍රදායික ගෘහණියන් හා මවුවරුන් ඉලක්ක කරගෙන කරන වැඩසටහන්ය. සම්ප්‍රදායික ගෘහණියන්ට තවත් වටිනාකම් ලබාදීම පුරුෂාධිපත්‍යටම රුකුල් දීමක් නොවෙයිද? අනෙක කාන්තාවන් පුරුෂයාගේ කාමවස්තූන් බවට පත්කරවන ඔවුන්ගේ මානසික ධෛර්ය අඩපන කරන විලාසිතා ආදිය ප්‍රදර්ශනය කරමින් කාන්තා විමුක්ති ව්‍යාපාර කිරීමේ අර්ථයක් නැත. අප මෙවර කාන්තා දිනයට දුටුවේද පුරුෂයාට වහල්කම් කරමින් පුරුෂාධිපත්‍යයේ මනදොල සපුරන සම්ප්‍රදායික ගෘහණියන්ගේ හා ළමයි වදමින් ඒ වෙනුවෙන්ම ජීවිතය කැප කරන සම්ප්‍රදායික මවුවරුන්ගේ කියුම් කෙරුම් මිස සැබෑ කාන්තා විමුක්තිය හා ප්‍රගතිය කරා යන ප්‍රගතිශීලී කාන්තා වැඩසටහන් නොවේ. මෙය කෙලින්ම කිවයුතුයි. කාන්තාවන් වෙනුවෙන් හඬ නැගීමට ඉදිරිපත්වන පුවත්පත් ඇතුලු බොහොමයක් මාධ්‍ය මෙවර කාන්තා දිනයේදී ඒ වෙනුවෙන් එතරම් උනන්දුවක් ඇතිව හඬ නොනැගීමද සැබවින් කනගාටුදායකය.