Sunday, May 31, 2015
සමූහ දූෂණ අපරාධ වලට එරෙහිව පෙළගැසෙමු.
මේ වන විට උතුරේ සමූහ දූෂණ තුනක් වාර්තා වී ඇත. තව ඉදිරියට කීයක් වාර්තා වීමට නියමිතදැයි කිසිවෙක් නොදනියි. මේ රට මෙතරම් අවාසනාවන්ත උනේ ඇයි? දැන් දැන් ඉන්දියාවේ මෙන් අපේ රට ඇතුලේත් සමූහ දූෂණ වාර්තා වන්නට පටන් ගැනීම බෙහෙවින්ම කනගාටුදායකය. මෙය මහත් අවාසනාවන්ත තත්වයකි. මුලින්ම වාර්තා උනේ විත්‍යා නමැති 18වන වියේ පසු වූ පාසල් ශිෂ්‍යාවක් දුෂණය කර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියයි. ඉන් පසුව තවත් 7හැවිරිදි දැරියක් හා 13 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක් විය. මේ කිනම් කරුමයක්ද? අහෝ මේ රටට මේ සිදුවන්නේ කුමක්ද? මේ දැරිවියන් උතුරේ දෙමළ ජාතික දැරිවියන් විය හැක. නමුත් කා හට වුවත් මේ කුරිරු අපරාධය අපරාධයක්මය. පුරුෂාධිපත්‍ය සමාජ රාමුවක් තුල සිරවී දුක් විඳින සම්ප්‍රදායික කාන්තා පරපුරක් වැඩිපුර වෙසෙන තුන්වන ලෝකයේ නොදියුණු රටක් වන ලංකාවේ කාන්තාවන්ට මෙය තවත් භීතිය කැඳවන මාරක සිද්ධි සමූහයක් විතරය. ඒ ඔවුන් සිතන්නට පුරුදු වී සිටින ක්රමයේ වරද වේ. ඔවුන්ට මෙවැනි අපරාධ වල නියැලෙන්නන්ට එරෙහිව දැඩි ලෙස සටන්වැදීමට ආත්ම ශක්තියක් නැත. එයද ලොකු වරදකි.
මේ සිදුවීම් ගැන දෙමළ දේශපාලනඥ්ඥවරියක් කියා සිටියේ උතුරේ එල්ටීටීඊ පාලනය පැවති කාලයේ මෙවැනි සිද්ධි නොවූ බව හා යුධ හමුදාව උතුර ආක්‍රමණය කළ පසු මේ අවාසනාවන්ත තත්වය උදා වූ බවයි. සිංහල ජාතිවාදීන්ට මෙය කොපමණ උදහසට කාරනාවක් උනත් එහි යම් සත්‍යක් තිබේ. එල්ටීටීඊ එක උතුරේ දෙමළ කාන්තාවන් සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය රාමුවෙන් ගලවාගෙන නූතන ලෝකයට ගැලපෙන ලෙස මනස සකස් කිරීමටත් ශක්තිමත් කිරීමටත් බොහෝ දුරට සමත් විය. ප්රභාකරන්ට සිංහල ජාතිවාදීන් කොපමණ බැන්නත් ඔහු දෙමළ ජාතික කාන්තාවන් සම්ප්‍රදායික හින්දු සංස්කෘතික මනස්ගාත වලින් මුදවාගෙන නව ලොවකට ගෙනයෑම සඳහා පිරිමින්ට සමාන ලෙස ඔහුගේ සංවිධානය තුලත් සම අවස්ථාවන් හෑම අංශයකින්ම උදා කර දුන්නේය. කාන්තාවන්ට සටන් පුහුණුව ලැබුණි. ඔවුහු එඩිතර වූහ. කළු ජූලියට පෙර උතුරේත් නැගෙනහිරත් කාන්තාවන් බයිසිකල් පැදීම පවා සම්ප්‍රදායික දෙමළ ජනයා උපහාසයට ලක්කර ඇත. මෝඩ හින්දු සංස්කෘතික බලපෑම එයයි. මේ තත්වය අද වෙනස් වී ඇත අද උතුරේ කාන්තාවන්ට පිරිමින් හා සමව උරෙනුර ගැටෙමින් ඕනෑම වැඩක් කිරීමේ අවස්ථාව ඇත. ඒ තත්වය උදා උනේ එල්ටීටීඊ එකට පින් සිදුවන්නට බව කිවයුතුම වේ. එහෙත් සිංහල ජාතිවාදීන් සතුටට පත්කරමින් උතුරේ එල්ටීටීඊ සංවිධානය පරාජයට පත්වීම තුල කුමක් සිදුවුනිද?
ඇත්තම කාරනයනම් මෙයයි. ඒ උතුරේ සංවර්ධනයක් ඇතිකර බටහිර රටවලට සමගාමීව අනෙක් සියළු අංශ වලින් මෙන්ම සංස්කෘතික වශයෙනුත් වෙනසක් ඇතිකරමින් නූතන යුගයක් කරා වෙන්ව ගමනක් ප්රභාකරන්ගේ නායකත්වය යටතේ යෑමට තිබූ අවස්ථාව උතුරේ මෙන්ම නැගෙනහිර දෙමළ ජනයාගෙන් ගිලිහී ගියේය. ඒ හමුදා ක්‍රියාමාර්ග හරහා රටේ අනෙකුත් සියළු ප්‍රදේශ වලද නූතනත්වයක් නැති සම්ප්‍රදායික සමාජ තත්වය නැවතත් උතුරේ දෙමළ ජනයාට උරුම වීමෙනි. එල්ටීටීඊ පාලන සමයේ උතුරේ දෙමළ කාන්තාවන්ට තිබූ එඩිතර ශක්තිමත් බව ඒ අනුව ඔවුන්ගෙන් ගිලිහී ගියේය. දැන් ඔවුන්ට ඇත්තේ නැවතත් අනතුරක් හමුවේ අඬා දොඩා වැලපී පිරිමියා ඉදිරියේ දනින් වැටීමේ මානසිකත්වයයි. මෙවැනි දූෂකයින්ට ප්‍රහාර දී මෙල්ල කිරීමට ඔවුන්ට නොහැක. එල්ටීටීඊ කාන්තා බලකායෙන් හමුදා අතඩංගුවට පත් සෙබලියන්ද දැන් පුනරුත්තාපනය කර සම්ප්‍රදායික දෙමළ කාන්තාවන් බවට පත්කර ඇත. උතුර සිංහල ජාතිවාදීන්ට සිත්සේ කරනම් ගැසීමට තැනක් කරදුන්නේ මහින්ද රාජපක්ෂ නම් ජාතිවාදී මිනීමරු නායකයායි. ඔහුට දැන් වලංගු බවක් නැත. ඒත් ඔහුගේ අධි තක්සේරු කතානම් කෙලවරක් නැත. විත්‍යා සිසුවියගේ ඛේදවාචකය තුල උතුරේ ජනයා නොසන්සුන් වී උසාවියට පහරදීම ගැනද මේ ජාතිවාදී නාජකයා කීවේ කොටින් නැගිටිනවෝ කියාය. උතුරේ ජනයා ඉල්ලුවේ වරදකරුවන්ට දඬුවම් දෙන්න කියාය. එහෙත් එය පටු දේශපාලනය වෙනුවෙන් හිටපු මහරජා අවියක් කරගත්තේය. අනේ හැබෑට මෙහෙමත් උමතුවක්.
හමුදා ක්‍රියාමාර්ග හරහා උතුරේ මින් පෙර සක්‍රීය ලෙස විශාල සමාජ සේවාවන් තොගයක් කළ රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරිත්වයද දැන් දුර්වල වී තිබේ. මෙයද නූතන යුගයක් කරා යෑමට සූදානම්ව සිටි උතුරේ කාන්තා පරපුරට එල්ල වූ මරු පහරකි. උතුර දැන් නැවතත් සම්ප්‍රදායික හින්දු ආකල්ප වෙත තල්ලු වෙමින් ඇත. යාපනය උසාවියට හා පොලීසියට පහර දෙමින් විරෝධතා දැක්වූයේ බහුතරයක් පිරිමින්ය. වියයුතුව තිබුණේ කාන්තාවන් ප්‍රභල ලෙස නැගී සිට කිරියාත්මක වීමයි. පිරිමින් කොපමණ මේ සිද්ධි හමුවේ සටන්කාමී ලෙස හා කලහකාරී ලෙස විරෝධතා දැක්වුවද ඔවුන්ටද ස්ත්‍රී දූෂණයක් කිරීමට හැකියාව නැතුවා නොවේ. භයානකකම ඇත්තේ එතැනයි. කාන්තාව පුරුෂයාට සමව හෝ ඊටත් වැඩිය ශක්තිමත් වන්නේනම් තනි පුද්ගලයන්ට හෝ සමූහ ලෙස හෝ කාන්තාවන් දූෂණය කිරීමට තියා ඇඟට අතක්වත් තියන්නට බැරිය. එබැවින් ප්‍රශ්නයට සාර්ථකම පිළිතුර නීති ක්‍රියාත්මක කරන්නට කියා පිරිමින් ලඟ පින් සෙන්ඩු වීම නොව කාන්තාවන්ට අභියෝග ජය ගැනීමට ශක්තිය ලබාදීමයි. කාන්තාවන්ට සියල්ලට පෙර තමන් පිරිමින්ට වඩා දුර්වලය යන මානසිකත්වයෙන් මිදීමට උදවු දියයුතුය. ගෑහැනු පිරිමි වෙනස්කම් මත කාන්තාවන් ආරක්ෂා කිරීම පිරිමින්ට අයිති දෙයක් යන සම්ප්‍රදායික මතය බැහැර කිරීමට දැන් කාලය පැමිණ ඇත. පොලීසි වලද කාන්තා බලකායවල් ශක්තිමත් කළයුතුය. සේරටම වඩා කාන්තාවන් පිරිමියාගේ කාමුක අවශ්‍යතා වෙනුවෙන් කැපවීමේ මෝඩ සම්ප්රදාය වෙනස් කළයුතුය. එය අත්‍යවශ්‍ය දෙයක් නොවේ. විවාහය හා දරුවන් වැදීම ඉලක්ක කර ගැහැනු දරුවන් හැදීමේ සම්ප්රදාය පා පහර දී බැහැර කළයුතුය. දූෂණයට පත් විත්‍යා දැරියද මේ සම්ප්රදාය තුලම සිටියාය. එබැවින් ඇයට අත්වූ අවාසනාවන්ත ඉරනමට ඇය මෙන්ම ඇගේ මවුපියන්ද එක් අතකින් වගකිවයුතු වේ. ප්‍රශ්න හමුවේ කනගාටු වී අඬමින් දොඩමින් දුක තුනී කරගැනීමට වඩා සම්ප්‍රදායෙන් මිදී නූතන ලෝකයට පියනගමින් අභියෝග ජයගැනීම වැදගත් නොවේද. බටහිර රටක් විසින් නැවතත් ලංකාව යටත් කරගෙන හෝ මේ වැදගත් කටයුත්ත කළහැකිනම් එය රටේ වනිතා පරපුරම ලබන ජයග්රහනයක් වනු නියතයි.
Saturday, May 16, 2015
අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහනයට උනුසුම් සුබපැතුම්
මැයි මස 15 වන දින කොළඹ රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් බටහිර ඉන්දීය කොදෙවු කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් අතර තරඟයෙන් විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා. මෙය සමස්ථ ලාංකීය වනිතා පරපුරටම අභිමාණයක් එක්කළ සුවිශේෂී සිද්ධියක් උනාට කිසිදු සැකයක් නෑ. අතීතයේ සිට පිරිමින්ට සීමා වී තිබූ සියළු ක්‍රීඩා කාන්තාවන්ට කළ හැකි බව අපේ ක්‍රීඩිකාවෝ මැනවින් ඔප්පු කළා. මෙය මෙරට සම්ප්‍රදායික පිරිමින්ට අත දිගහැර දුන් අතුල් පහරක් වනවාට සැක නෑ. මින් ඉදිරියටත් විශිෂ්ඨ දස්කම් පාමින් ක්‍රිකට් ලොව ජය කෙහෙලි නංවා තරඟ ජය ගැනීමටත් සම්ප්‍රදායික පිරිමින්ගේ ආකල්ප බිඳ දැමීමටත් අපේ වීර කෙල්ලන්ට හැකියාව ලැබේවායි වනිතා හඬ ප්‍රාර්ථනා කරනවා.
ලකුණු පුවරුව බලන්න
http://www.espncricinfo.com/icc-womens-championship-2014-16/engine/match/856111.html
Tuesday, April 21, 2015
සම්ප්‍රදායික සිරිත් අප තවදුරටත් රැකිය යුතුද?
තවත් සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නමින් එකක් ඇවිත් ගියේය. හැබැයි ඒ ඇවිත් ගියේ නිකම්ම නොවෙයි. මේ සම්ප්‍රදායික අළුත් අවුරුද්ද ඇවිත් ගියේ ලංකාවේ කාන්තා පරපුරට සම්ප්රදායිකත්වයේ මරු පහරක්ද එල්ල කරමිනි. සම්ප්‍රදායික අධිපතිවාදී පුරුෂයා නැකැත් හදමින් ජෝතිෂය හිස් මුදුනේ තබාගෙන අවුරුදු චාරිත්‍ර ගැන පුරාජේරු ගැසුවේය. ඒ අතරම රෙද්ද හැට්ටේ ඇඳගත් සම්ප්‍රදායික මෝඩ කාන්තාවන් පිරිස සුපුරුදු පරිදි අවුරුදු චාරිත්‍ර කරමින් තමන්ට හුරු පුරුදු කුස්සියට කොටු වී ලිප ගිනි මොළවා වැඩකටයුතු පටන්ගත්තෝය. තව සමහරු කැවිලි පෙවිලි හදන්නට තමන්ට ඇති හැකියාව කැවුම් වල කොණ්ඩය ගන්න ආකාරය ගැන උදම් ඇනුවෝය. අපොයි මෙහෙමත් මෝඩ කාන්තාවන් රටේ ඉන්නවාදැයි කියා මට හිතුනේ නූතනත්වයක් කියා දෙයක්වත් අසා නැති මේ පිරිස දැක්ක විටය.
මේ අවුරුද්දක් අවුරුද්දක් ගානේ කරන සම්ප්රදායක අවුරුදු සැමරීම හා සිරිත් විරිත් ඉටුකිරීම කාන්තාවන්ගේ පැත්තෙන් ඔවුන්ට කෙසේ බලපානවාද යන්න කතා කිරීම අද දවසේ වැදගත්ම කාර්යක් කියා මට හිතුනේ සම්ප්රදාය බිඳ දමා නූතනත්වයට යන ගමනේදී කාන්තාවට මේ සම්ප්‍රදායික සිරිත් වලට කොටු වීම කොපමණ බාධාවක්දැයි පෙනී ගිය බැවිනි. අද දවසේ ශ්‍රී ලාංකික වනිතා පරපුර ඉල්ලන්නේ දැනුමෙන් තාක්ෂණයෙන් පිරිපුන් නූතන යුගයක් මිස සම්ප්‍රදායික සිරිත් ඉටු කරමින් පුරුෂයාගේ අත් අඩංගුවේ පසුවන යුගයක් නොවේ. අවාසනාවකට මේ රටේ තවමත් වැඩිපුර සිටින්නේ නූතන යුගයකට කැමති පිරිසට වඩා සම්ප්රදායිකත්වය තුලට යන්න උත්සහ කරන මෝඩ නූගත් කාන්තාවන් පිරිසකි. මේ නූගත් මෝඩ ගෑනුන්ට සම්ප්රදාය තුල හිර වී කුස්සියට කොටු වී කැවිලි පෙවිලි හදමින් පුරුෂයාට වහල්කම් කර කර සිටීම මහත් සතුටක් ගෙනදෙයි. පුරුෂයාට අවශ්‍ය විට දරුවන් හදා දීමටද මේ සම්ප්‍රදායික නූගත් චරිත ඉහල සමත්කමක් දක්වති.දරුවන් හදමින් කුස්සිය බදාගෙන පවුල තුල පුරුෂයාගේ ආධිපත්‍ය යටතේ සිටින මෝඩ කාන්තාවන්ට ගෙදර බුදුන් අම්මා යැයි කියන්නේනම් ඊට වඩා දෙයක් නැත. අද සමස්ථ ලාංකික වනිතා පරපුරම මුදාගතයුත්තේ මේ අවාසනාවන්ත පසුගාමී සමාජ තත්වයෙනි.
මෙයින් ගැලවෙන්නට බුද්ධිමත් කාන්තාවන් සුළු පිරිසකට උවමනාවක් තිබුණත් සම්ප්‍රදායික ගෘහණිය හා මවගේ භූමිකාව රඟ දක්වමින් පුරුෂයාගේ අතඩංගුවේ සිටින කාන්තාවන් පිරිස ඊට ඉඩ අහුරති. කොටින්ම කිවුවොත් ඔවුන් තමන් පුරුෂයාගේ අත් අඩංගුවේ සිටින සිරකාරියන් බව නොදනිති. සියල්ලටමත් වඩා වාසනාව මේ තත්වය බුද්ධිමත් කාන්තාවන්ට තේරුම් කරදීමටද සම්ප්‍රදායික මෝඩ ගෑනුන් ඉඩ නොදීමයි. ඔවුන්ට මේ තත්වයෙන් මිදී වර්තමාන බටහිර කාන්තාව අත් විඳින නිදහසින් පිරි නූතන සමාජ තත්වය ලබාගැනීමට කිසිදු උවමනාවක් නැත. මේ අම්මන්ඩිලාට සම්ප්‍රදායික් ගෘහණිය හා මවගේ භූමිකාව සේරටම වඩා නම්බුකාරය. ඒ ඔවුන්ගේ මොළේ තරමයි. දූෂිත මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය නිමා කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ නව යහපාලන රජයක් පත් වී ඇති වාතාවරනයක් තුල හෝ මේ අවාසනාවන්ත තත්වයෙන් ගැලවීමට නූතනත්වය බලාපොරොත්තු වන බුද්ධිමත් කාන්තාවන්ට තම අභිලාශයන් ඉටු කරගැනීමට අවස්ථාව උදා වනු ඇතැයි විශ්වාස කළත් මේ දක්වා ඒ අවස්ථාව රටේ බුද්ධිමත් කාන්තාවට උදා වී නැත. මේ වනවිටත් ඊට ඇත්තේ බාධාවන් පමණි. මේ බාධක ජයගැනීමට මේ වසරේවත් දැඩිව අධිෂ්ඨාන කරගත යුතුය. ඒ සඳහා රටේ දේශපාලන තත්වය දැඩිව බලපාන බව ඉතා පැහැදිලිය. වනිතාහඬනම් බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරනයේදී උනා මෙන් ජාතිවාදය පරාජය වී ඉදිරි මහමැතිවරනයකදී රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි වීමයි. එසේ වීම වැදගත් වන්නේ දැනට පවතින තත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මෛත්‍රීපාල සිරිසේන මහතාටත් චන්ද්‍රිකා මැතිණියටත් ඇති බලය අඩු වීම නිසාය.
සම්ප්‍රදායික බවේ වැට කඩොලු බිඳ හෙලීමටනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා චන්ද්‍රිකා මැතිණියගේ බලය වැඩි වියයුතුය. එසේ නොවන්නේනම් කාන්තාවගේ නිදහස වෙනුවෙන් කවදත් කැපවන රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ රයජක් බිහි වී මෛතීපාල සිරිසේන මහතාගේ හා චන්ද්‍රිකා මැත්ණියගේ සහයද ඇතිව සිංහල බෞද්ධ යැයි කියාගන්නා ජාතිවාදී බලවේගත් හිටපු ජනාධිපතිවරයා පිරිවරාගත් සම්ප්‍රදායික දේශපාලන අඳබාලයන් පිරිසත් මර්ධනය කළයුතුය. ඉන් පසුව සම්ප්‍රදායික චිරාගත චාරිත්‍ර පිළිපදිමින් කාන්තාවට පීඩා කරන සමාජ තත්වයම පහසුවෙන්ම මුල් පිටින් උදුරා දැමිය හැක. ජාතිවාදයත් පුරුෂාධිපත්‍යත් එකවගේ පිළිකුලෙන් බැහැර කළයුතු දේවල් වේ. සම්ප්‍රදායික චාරිත්‍ර රැකීමට අවශ්‍ය වන්නේද ජාතිවාදීන්ටය. ජාතිවාදීන්ට සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය රැකගනිමින් කාන්තාව පාගාගෙන සිටීමට ජාතිය අවශ්‍යය. එසේ නැතිව ජාතියක් කියා දෙයක් නැත. ඇත්තේ අප සියල්ලන් මනුශ්‍යයන් ලෙස සලකා ජීවත් වීමත් ස්ත්‍රී පුරුෂ බෙදීම වැට කඩොලු බිඳ දැමීමත්ය. ජාතිවාදයත් පුරුෂාධිපත්‍යත් භංග වේවා!නූතන කාන්තාවගේ බලාපොරොත්තු ඉටුවන යුගයක් උදා වේවා!
Sunday, March 8, 2015
2015 කාන්තා දිනයේ දියාරු බව ගැන කනගාටුව.
නූතන කාන්තාවට කිසිදු හවුහරනක් නොතිබූ පැවති දූෂිත දුෂ්ඨ රජය පැරදී කුනු කූඩයට විසිවුන පසු වනිතා හඬ ඇතුලු අභිමානවත් කාන්තා පරපුර බලාපොරොත්තු වූයේ කාන්තාවට සැබෑ ප්‍රගතියක් අත් කර දෙමින් නූතනත්වය කරා යන නව ගමන් මගක් ආරම්භ වේය කියායි. ශ්‍රී ලාංකික වනිතා පරපුර බලාපොරොත්තු වූ ආකාරයට මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය අති උත්කර්ශවත් අන්දමින් සමරන්නට රාජ්‍ය අනුග්‍රහයවත් ලැබී තිබුනාද කියා සැක සහිතය. 2015 මේ වසරේ ලෝක කාන්තා දිනය පැවති රජය සමයේ සැමරුවාටත් වඩා දියාරු ලෙස මෙවර සමරා කිසිම නැවුම් බලාපොරොත්තුවක් නැතිව අවසන් විය. කෙසේ නමුත් වනිතා හඬේ පැසසුම හා ගෞරවය ස්ත්‍රී මධ්‍යස්ථානයට හිමිවන්නේ කටුනායකදී පාගමනක් හෝ සංවිධානය කිරීම ගැනයි. එහි අවසනට ඉදිරිපත් වූ අදහස් අතර ස්ත්‍රී ශ්‍රම අභිමාණය හා පාර්ලිමෙන්තු කාන්තා නියෝජනය වැඩි කිරීම මීට වඩා සටන්කාමීව ඉදිරිපත් කළයුතුව තිබුණි. නමුත් එයනිකම්ම පාගමනක් හා සන්දර්ශනයක් බවට පත් වී තිබීම අපගේ කනගාටුවට හේතු වූ බව කිව යුතුයි. බටහිර රටවල සිදුවූ සටන්කාමී විප්ලවයක් ලංකාවේ කවදා කරන්නද කියා හිතෙන තරමට කාන්තා අරගල වලට නායකත්වයක් තවම රටේ නැත.
සැබවින්ම මේ දේශපාලන බල පෙරලියෙන් නිසි ප්‍රයෝජනය ගෙන කාන්තා අරගලයේ සටන්කාමී බව වැඩි කළයුතුව ඇත. ඒ ක්‍රියාවලිය හරිහැටි සිද්ධ නොවන එක රටේ ප්රගතිශීලී කාන්තාවට ඇති ලොකුම ගැටළුවයි. රටේ සම්ප්‍රදායික නූගත් හනමිටිකාරයන් තවමත් හිතන්නේ කාන්තාව පිරිමියාගේ කාම අවශ්‍යතාවය සංසිඳුවන වහලිය හා ළමයි වදන මැෂිම කියාය. මේ සම්ප්‍රදායික හනමිටිකාර පිරිමින්ට උන ගැනෙන දැවැන්ත සටනක් කිරීමට ශක්තිය කාන්තාවට තිබියයුතුය. ඊට අවශ්‍ය නායකත්වය හා රාජ්‍ය අනුග්‍රහය රටේ වනිතා පරපුර නව රජයෙන් බලාපොරොත්තු විය. ගැටළුව මේ නායකත්වය හා අනුග්‍රහය නොලැබීමයි. අඩුම තරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවත් මේ ගැන හොයා නොබැලීම පුදුම සහගතයි. එතුමානම් කාන්තාව සම්බන්ධයෙන් සැබෑ ප්රගතිශීලී අදහස් ඇත්තෙකි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට රජයේ ප්‍රභල තනතුරක් හිමි නොවීමත් මෙයට බලපෑවා කියා වනිතා හඬට සිතේ. දැන් ගිය දේ ගිය දේ ගියාවේ. මෙතැන් සිට ඉදිරියටවත් නූතන කාන්තාවගේ අපේක්ෂා ඉටුවන වැඩපිළිවෙලක් ගැන සිතියයුතුය. එය ක්‍රියාත්මක වෙන දාට සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය සුනු විසුනු කර දමා කාමුක අධිපතිවාදී පිරිමින්ට පෙර වැරදි වලට පවා තදින් දඬුවම් කළයුතුය. මේ දැවැන්ත අරගලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන අනුග්‍රහය හා එදාට කාන්තාවට සම්ප්‍රදායික පිරිමින්ගෙන් එල්ලවන බලපෑම් මැඩපැවැත්වීමට අවශ්‍ය නීතිමය ආරක්ෂාව දැන්සිට ක්‍රමානුකූලව සකසාගතයුතුව ඇත. සුළුවෙන් හෝ කාන්තා දිනය වෙනුවෙන් යමක් කළ ස්ත්‍රී මධ්‍යස්ථානයට නැවත වරක් අපේ ස්තුතිය.
Sunday, March 1, 2015
අභිනව වනිතා කටයුතු ඇමතිනියට සුබ පැතුම්
මේ සටහන තබන්නේ අපගේ අළුත් වනිතා කටයුතු ඇමතිනිය වන රෝසි සේනානායක මැතිනියට සුබ පැතීමටයි. රෝසි සේනානායක මැතිනියට වනිතා හඬ සුබපතන්නේ ඇය හිටපු වනිතා කටයුතු ඇමතිවරයාට වඩා ප්රගතිශීලී වේ යැයි සිතන බැවිනි. ඇය මින් පෙර ලෝක රූ රැජිනක් වීම ගැනනම් අප එතුමියට ප්‍රශංසා නොකරන බවත් අවධාරනය කර සිටින්නේ එය නූතන කාන්තාවගේ අභිලාශයන්ට පටහැනි ප්රතිගාමී දෙයක් නිසා. ඒ කුමක් වුවත් අප රෝසි සේනානායක මහත්මියගෙන් වනිතා කටයුතු ඇමතිනිය ලෙස බොහෝ දේවල් බලාපොරොත්තු වන බව කිව යුතුයි.
පළමුවැන්න මේ රටේ පසුගාමී සම්ප්‍රදායික ගෘහණිය හා මවගේ භූමිකාව කරමින් නිවසටත් කුස්සියටත් හිරවී සිටින කාන්තාවන් බටහිර රටවල සිදු වූ සමාජ පෙරලියට සූදානම් කර නූතනන ලෝකය කරා ගෙන යෑමයි. ඒ සඳහා ලංකාවේ ජන සමාජය පුරාවට විහිදී තිබෙන පුරුෂයාගේ අධිපතිවාදී වැට කඩුළු සීමා මායිම් බිඳ දමා පිටස්තර ලෝකය සමග බද්ධ වී ඉදිරියට යෑමට දොරගුළු විවර කර දෙන මෙන් අභිනව වනිතා කටයුතු ඇමතිනියගෙන් ඉල්ලා සිටිමු. රෝසි සේනානායක මැතිණියට අප ගෞරව පූර්වකව සුබ පතන්නෙමු.
Thursday, January 22, 2015
යහ පාලනයට ජය වේවා
සුබපැතුම් එක්කරන්න පමා වුන එක ගැන පළමුව කනගාටුව ප්‍රකාශ කරනවා. දැන් ඔබ අප සියළු දෙනා විශේෂයෙන් මේ රටේ කාන්තා පරපුර බලාපොරොත්තු වූ ආකාරයට මෛත්‍රිපාල සිරිසේන මහතා ජයගත්තා. ඒ යහපාලනයක් ඇති කරලා වංචා දූෂණ විතරක් නෙවෙයි සියළු අයුක්තිසහගත අසාධාරනකම් නැතිකර යහපත් හෙටක් උදාකරන්නයි. මේ තුල වනිතා හඬ බලාපොරොත්තු වන ප්‍රධානම දේ නූතනත්වය කරා පියනගන පුරුෂාධිපත්‍යට යටත් නොවන කාන්තාවන්ගේ අනාගත සිතුම් පැතුම් ඉටුකරමින් ඔවුන් සුරක්ෂිත වීමයි.
ඇත්තෙන්ම ඒ කටයුත්ත සාර්ථක බව දැන් ඉතා පැහැදිලියි. නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමද අපගේ සතුටට කරුණක්. චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියට බලවත් තනතුරක් හිමි වීමද අපගේ විශාල බලාපොරොත්තුවක් බව කිවයුතු දෙයක් නෙවෙයි. ඒ ඇය කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් මෙරට බලවත්ම සමාජ පෙරලියක් කරන්න මහඟු කාර්යභාරයක් කළ වීරවරියක් නිසා. එයත් අනාගතයේ ඒ ආකාරයෙන් සිදුවන බව අපට විශ්වාසයි. දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ වංචා දූෂණ වලට හිටපු දූෂිත දේශපාලකයින්ට දඬුවම් කරන ආකාරයටම කාන්තාවට හින්සා කළ ලිංගික අතවර කළ ඇය කාම වස්තුවක් කරගෙන පීඩාවට පත්කළ සියළු දෙනාටත් දැඩි දඬුවම් පමුණුවනු ඇති බව අපගේ විශ්වාසයයි. නවලොව අරුනළු දකිමින් නූතනත්වය කරා පියනගන කාන්තා පරපුර නව නායකත්වය යටතේ සුරක්ෂිත වේවායි අප ඉමහත් සතුටින් ප්‍රාර්ථනා කරනවා. යහ පාලනයට ජයෙන් ජය. ජාතිවාදයටත් පුරුෂාධිපත්‍යටත් නිසි පිළිතුරු ලබාදුන් බුද්ධිමත් චන්දදායකයාටත් අපගේ ප්‍රනාමය හිමි වන බව විශේෂයෙන් මතක්කර සිටිනවා. යහපාලනය දිනේවා! මෛත්‍රී යුගයක් ඇතිවේවා! කාන්තාවගේ විමුක්තිය උදාවේවා!
Monday, December 29, 2014
කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් මෛත්‍රීපාල දිනවමු
මේ ජනාධිපතිවරනය හෝ වෙනත් කුමන මැතිවරනයක් වුවත් කාන්තාවට වැදගත් වන්නේ කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් දේශපාලනය තුල ලැබෙන සහය කවරාකාර වනවාද කියන කාරනාව උඩයි. අද කාන්තාවන්ට අවශ්‍ය වන්නේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යයෙන් ගැලවී නූතනත්වය කරා ගමන් කිරීමයි. මේ කර්තව්‍ය සාර්ථක වීමටනම් කාන්තාවගේ විමුක්තියට සහය වන කාන්තා හිතෛශී පාලනයක් රට තුල ස්ථාපිත වියයුතුය. ඒ සඳහා මෙවර ජනාධිපතිවරනයේදී බුද්ධිමත් කාන්තාවන් කාට තම සහය පලකළයුතුද යන්න පෙන්වාදීම ඉතා වැදගත් වේ.
පළමුව කතා කළයුත්තේ පවතින අයහපත් පාලනය තුල කාන්තාවන්ට පාලක පක්ෂයෙන් නූතනත්වය කරා යෑමේ තම අරමුණු වලට යාමට තිබෙන බාධාවන් ගැනයි. බොහෝ දෙනා කතා කරන්නේ වත්මන් රාජපක්ෂ රජයේ දූෂණය හා වංචාව ගැනත් පවුල්වාදය ගැනත් පමණි. නමුත් කාන්තාවගේ පැත්තෙන් තවත් අයහපත් දේ බොහොමයක් ගැන කතා කරන්නට තිබේ. ජනධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා පරදවා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති පදවියට පත්කළයුතු වන්නටද කාන්තාවගේ පැත්තෙන් තිබෙන්නේ මේ හේතුය. වත්මන් රජයේ සියළු සංවර්ධන වැඩකටයුතු වලදී කාන්තාවන්ට එහි වැදගත් කාර්යභාරයන් කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. කාන්තාවන් පිරිමින්ට පමණක් සීමාවූ විවිධ අංශ වලට යොමු කිරීමටත් නිශ්පාදන ඵලදායීතාවය වැඩි කිරීමටත් මුලින් වැඩසටහන් ක්‍රියාත්මක උනත දැන් අඩපන වී ඇත. ඒ පුරුෂාධිපත්‍ය සම්ප්‍රදායික සමාජයේ හැටිය. අදටත් බොහෝ රැකියාවල පිරිමින් හා සම තත්වයෙන් නියැලීමට කාන්තාවන්ට නොහැක. දේශපාලනය තුල ඇති තත්වයද මීටම සමානය. කාන්තාවන් දේශපාලනයට පිවිසියද බොහෝ විට කාන්තාවන්ම තවත් කාන්තාවකට චන්දය දීමට ඉදිරිපත් නොවේ. රජය හා රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ වල කාන්තාවන්ට දේශපාලනය කිරීමට ඇත්තේ ඉතා සුලු ඉඩකි. කාන්තාවන් සම්ප්‍රදායික ගෘහණිය හා මවගේ භූමිකාව කළයුතුයැයි සිතන සම්ප්‍රදායික පිරිමින් මේ රජයට අරක්ගෙන සිටින බවද රහසක් නොවේ. කාන්තා කටයුතු අමාත්‍යංශයක් තිබුණද එය ක්‍රියාත්මක වන්නේද පිරිමින්ට අවශ්‍ය ලෙසය. කාන්තා කටයුතු අමාත්‍යවරයා බාලවයස්කාරියන් ලිංගික අපචාරයේ යොදාගන්නා පිරිමි කාම පිස්සන්ට එම බාල වයස්කාරියන්ගේ කැමැත්ත ඇතිනම් ඔවුන් විවාහ කරගැනීමට ඉඩ දියයුතු බවට අදහස් ඉදිරිපත් කළ අයෙකි. මෙවැන්නන් කාන්තාවට යහපතක් කරන්නේ කෙසේද?
ඉතිහාසයේ විටින් විට පැවති ආණ්ඩු යටතේ කාන්තාවන්ගේ ආරක්ෂාව විවිධ නීති සම්පාදනය වුවත් ඒ සියල්ල මේ වනවිට අක්‍රියව පවතී. එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති කාළ වල යම් පමණකින් මේ නීති ක්‍රියාත්මක වුනේ ඒ සියල්ල සම්පාදනය කිරීමට රජය මුල් වූ නිසයි. නමුත් එම කාළ වකවානු වලද නීති ක්‍රියාත්මක වීමේ යම් අඩුපාඩු තිබුණි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය බලයට පත් අවධියේදී නම් බාල වයස්කාරියන් විවාහ කරගැනීම ඇතුළු පිරිමියාගේ කාම උමතුවට දැඩි දඬුවම් පමුණුවන නීති තදින් ක්‍රියාත්මක විය. එකළ පිරිමි කාමුකයන් ගැහැනු ළමුන්ට අතක්වත් තැබීමට බිය විය. බාලිකා පාසල් වල සිටම ආත්මාරක්ෂක සටන් පුහුණුව සාර්ථකව ක්‍රියාත්මක කර පිරිමියාගේ කාමුකත්වයට හිස නොනමන බිය නැති කාන්තා පරපුරක් හැදීමේ අඩිතාලම වැටිනි. කාන්තාවන්ට බියකින් සැකයකින් තොරව පිරිමින් කරන විවිධ රැකියා වල නිරත වීමට හැකි විය. අද කෝ ඒ තත්වය? අද කාන්තා පරපුරම අන්ත අසරනය. කාන්තාවන්ට නැවතත් හිමි වී ඇත්තේ සම්ප්‍රදායික මවගේ හා ගෘහණියගේ භූමිකාවයි. දැන් නැවතත් කාන්තාව පුරුෂයාගේ වහල් සිරකාරිය වී ඇත. අද කාන්තා අයිතීන් හඳුනන කාන්තාවට ගරු කරන කාගේ කාගේත් වගකීම වන්නේ දේශපාලන වෙනසක් මගින් හෝ මේ තත්වය මුලිනුපුටා දැමීමයි. එයට දැන් අවස්ථාවක් උදා වී තිබේ.
Subscribe to:
Posts (Atom)