Sunday, May 29, 2016
ගංවතුර ආපදාව හරහා කාන්තා සංවිධාන නිසි ප්‍රයෝජන ගත්තාද?
පහුගිය කාලයක සිට මේ දක්වාම ඇදහැලෙන ධාරානිපාත වැස්ස හේතුවෙන් ලංකාවේ කැලණි මිටියාවත අවට පහත් බිම් බොහොමයක් ජලයෙන් යට විය. ඉන් ජනයාට වූ අලාභය සුළුපටු නැත. තවත් ප්‍රදේශ වල නායයෑම් නිසා අනතුරු බොහොමයක් සිදු විය. මේ ආපදා තත්වය ඇති වීමත් සමග විවිධ කණ්ඩායම් අවතැන් වූවන්ට හා අනතුරට පත් වූවන් ඇතුළු පවුල් වල අයට සහනාධාර ලබාදීමට යුහුසුළු විය. බොහෝ ප්‍රදේශ වලින් ආධාර එක් කර ආපදාවට ලක් වූ පෙදෙස් වලට යවනු අපට දකින්නට ලැබුණි. වනිතා හඬ ලෙස අපටනම් වෙනමම දේවල් කීපයක් කියන්නට තිබේ. ඒ මෙවැනි ආපදා හරහා ආධාර බෙදීම පමණක් නොව සමාජයේ වෙනස්කම් කරන්නට ආරම්භයක් ඇති කරගන්නටද මහඟු අවස්ථාවක් තිබෙන නිසා කියා වනිතා හඬට විශ්වාසයක් තිබෙන නිසා. එසේ කියන්නේ මේතුලින් මෙරට ප්රගතිශීලී කාන්තා සංවිධාන වලට හා රාජ්‍ය නොවන සංවිධාන කණ්ඩායම් වලට යම්කිසි ප්‍රයෝජනයක් ගන්නට තිබුණා කියා විශ්වාසයක් ඇතුවයි. එහෙත් එය සිදු වූ බවක් ලොකුවට පෙනෙන්නට නැහැ.
ඇත්තෙන්ම මේ මහා ආපදා තත්වය හරහා ආපදාවට පත් අයට උදවු කරන අතරතුර විශේෂයෙන් කාන්තාවන්ගේ පැත්තෙන් ඔවුන්ට බලපාන සමාජ ගැටළු ගැනත් අවධානය යොමු කර ඉදිරියේදී කාන්තාවන්ට ඒවායින් ගැලවීම සඳහා සටන් කිරීමට අවශ්‍ය අදහස් ගොන්න ලබා දීමට කටයුතු කිරීමට පියවර ගත් කාන්තා සංවිධාන ගැන අසන්නට නැත. මෙය ඒ සඳහා ලැබුණු විශාල අවස්ථාවක් මගහැර දැමීමක් විය. ආපදාවට පත් අයට ආධාර ලබා දෙන ගමන් කාන්තාවන්ට ඉදිරියට පැමිණ අභියෝග ජයගන්නා ආකාරය ගැන අදහසක් දීමට කිසිවෙක් ක්‍රියාකරනු අප දුටුවේ නැත. මේ ආපදා තත්වය තුලත් බොහෝ කාන්තාවන් කියා සිටියේ පවුලේ හා දරුවන්ගේ දුක් ගැහැට පමණි. මේ අපේ මහා ලොකු සංස්කෘත්යේ සම්ප්රදායක් වේ. එහෙත් කාන්තාවන්ට සියල්ල පිරිමින් කරන තෙක් බලා නොඉඳ වැට කඩොළු බිඳ දමමින් සිතට ධෛර්ය ගෙන ආපදාවෙන් ගැලවෙනවා මෙන්ම අනාගතයේ පවුල් සංස්ථාව නම් හිර කුටියෙන් නිදහස් වීම හා දරුවන්ගේ බරින් නිදහස් වී ස්වාධීන වීම ගැන කියා දීමට කාන්තා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන වලට අවස්ථාව තිබුණි. එහෙත් ඒ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත් බවක් නොපෙනේ. සමලිංගික අයිතීන් සඳහා ක්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධානයක් පමණක් මෙහිදී සමලිංගිකත්වය දෙස සුභවාදී ලෙස බැලීමේ පණිවිඩය ගෙන යෑමට උත්සහ දරා ඇත. මෙය ඇත්තෙන්ම පැසසිය යුතු දෙයකි. නමුත් ඊට පෙර කරන්නට තවත් බොහෝ දේ තිබුනා කියා අපට හිතේ.
ලංකාව තුලත් සමලිංගිකත්වයට ඇති බාධා ඉවත් කර දැමිය යුතු බව අපිත් කියන්නට කැමතියි. නමුත් ඒ ටික කරන්නටත් කලින් කළයුතු මූලික කටයුතු බොහොමයක් කිරීමට ප්රගතිශීලී කණ්ඩායම් හා කාන්තා සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන අපොහොසත් උන බවයි අපි දකින්නේ. පළමුව කාන්තාවන් පවුල නමැති හිර කුටියෙන් ගලවා ගත යුතුව තිබෙනවා. මෙවැනි ආපදා වලදීත් කාන්තාවන්ටම වැඩි පීඩාවක් හා ප්‍රශ්න පැනනගින්නේ තමන් හුරු වී සිටින සම්ප්‍රදායික ජීවන රටාව නිසා බව ඔවුන්ට ඒත්තු ගන්වන්න තිබුණා. කාන්තාවන් කළ යුත්තේ කුස්සි වල බඩු කෑම ආදිය නැති වීමවත් දරුවන්ගේ ප්‍රශ්නවත් නොව තමන්ට තිබෙන සමාජ පීඩාවන් මෙවැනි අවස්ථා වලත් මතු වන ආකාරය බව කියා දීමට කිසිදු සංවිධානයක් කටයුතු කළේ නෑ. කාන්තාවන් සම්ප්රදායිකත්වයෙන් මුදවාගැනීම හරහා සමලිංගිකත්වය ගැන කතා කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරගන්න පසුව පුළුවන්. ඇත්තෙන්ම මුලින් කරන්නට තිබුණ දේ නොකර පසුව කරන්නට තිබෙන දේ මුලින් කිරීම තුල අපේ සමාජය තුල කාන්තා විමුක්තියේ ක්රමෝපායන් හරියට ක්‍රියාත්මක උනේ නෑ. ඒ වගේම මිනිසුන් අතර යම් සැකයක්ද ඇති උනා. ලන්කා සී නිවුස් නම් ජාතිවාදී වෙබ් අඩවිය සමලිංගික සංවිධානයේ වැඩ පිළිවෙල ප්‍රශ්න කර තිබුණා. ඒත් ඒම සංවිධානය කළ දේ නිවැරදියි. ඒත් තැනට සුදුසු දේ නෙවෙයි කියලා හිතන්න වෙනවා. ඇත්තෙන්ම මුලින් කාන්තාවන් සම්ප්‍රදායික ජීවිතයෙන් ගලවාගැනීමට කටයුතු කළා නම් අන් සියල්ලට අවශ්‍ය මූලික වැඩකටයුතු ඒ ඔස්සේ කරගන්නට තිබුණා කියලා වනිතා හඬ කියන්න කැමතියි. ඒ නිසා මින් ඉදිරියේදීවත් මෙවැනි තත්වයන්ගෙන් ප්‍රයෝජන ගත යුත්තේ කිසියම් සැලැස්මකට අනුව කල්පනාවෙන් බව මතක් කර දෙන්න ඕනේ.
Tuesday, March 8, 2016
පනක් නැති මලානික වූ තවත් කාන්තා දිනයක් නිමා විය
මෙවරත් මාර්තු මස 8 වනදා සුපුරුදු ලෙස ඔහේ සැමරියයුතු නිසා සමරනු ලැබූ මලානික කාන්තා දිනයක් නිමාවට පත් විය. ඒගැන අපගේ බලවත් කනගාටුව මෙන්ම කාන්තා දිනය කිසිත් උද්යෝගයකින් තොරව සමරා ඊට අඩු මට්ටමේ අනුග්‍රහයක් දැක්වූ රජයට අපගේ විරෝධයද පල කරමු. විශේෂයෙන් සිංහල ජාතිවාදී හා සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී රජයක් පෙරලා දමා නව යහපාලන රජය පිහිටවීමට නව යුගයේ පෙරලිකාර කාන්තාවන්ගෙන් ලැබුනේ නොමද සහයකි. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වූ බවක් පෙනෙන්නට ඇත. යහපාලන රජයෙන් මෙරට සම්ප්රදායිකත්වයට එරෙහි කාන්තාව බලාපොරොත්තු වූයේ කාන්තාව නූතන ලෝකය වෙත ගෙනයා හැකි පෙරලිකාර පාලනයකි. එහෙත් එයට බාධා බොහෝ ඇති බව දැන් පෙනෙන්නට තිබේ. යහපාලන රජයේ වැඩි බලය එක්සත් ජාතික පක්ෂයට තිබීම යම් ප්‍රමානයක අස්වැසිල්ලක් උනත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් සම්ප්‍රදායික යුගයේ සිටින බව පෙනේ. රජය තුල සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට රට තුල කාන්තාවට නිදහසේ දොර කවුලු විවර කරවන වෙනස කිරීමට ඉඩ නොදන සෙයක් තිබේ. මෙය සැබැවින්ම කනගාටුදායකය.
මෙරට සම්ප්‍රදායික මව හා ගෘහණිය නොවූ නූතන යුගයට පිය මනින විප්ලවකාරී කාන්තා පරපුර නව රජයෙන් බලාපොරොත්තු වූයේ මේ ටිකද? මුලදී රනිල් වික්‍රමසිංහ මහතාත් විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතාත් සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය හා විසමලිංගික උත්තමවාදී ආකල්ප බැහැර කරමින් කාන්තාවගේ මෙන්ම සියළුම ලිංගික අනන්‍යතාවයන්ට අයත් පුද්ගලයන්ගේ නිදහස වෙනුවෙන් යම් මෙහෙවරක් කරන ආකාරය පෙනෙන්නට තිබුණත් දැන් නැවතත් රට පුරා නව යහපාලන රජයට එරෙහි දැවැන්ත ජන රැල්ලක් ගොඩනැගීම හරහා රජය අපහසුතාවයට පත් වී තිබේ. මේ මහා ආණ්ඩු විරෝධී රැල්ල පසුපස සිටින්නේ පැවති රජයේ සම්ප්‍රදායික සිංහල ජාතිවාදී බලවේගයයි. මේ බලවේගය නැවත රජයේ වැඩපිළිවෙලවල් කඩාකප්පල් කරමින් සිටිති. ජාත්‍යන්තරයේද සහය ඇතිව මෙරට කාන්තාවගේ ප්‍රගතිය වෙනුවෙන් සම්ප්රදායිකත්වයේ රාමු සියල්ල බිඳ දැමීම කළ යුතුව තිබියදී ඊට තිබෙන ඉඩකඩ අහුරන්නේ වෙන කවුරුවත් නොවේ හිටපු සම්ප්‍රදායික ජාතිවාදී රජයේ ගෝලබාලයෝයි. මොන අවාසනාවකට හෝ මොවුන්ගෙන් කොටසක් වත්මන් යහපාලනයේද කොටස්කරුවන් වී සිටිති. මේ පිරිස පන්නා දමා පිරිසිදු එකසත් ජාතික පක්ෂ රජයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් බිහි වීම හැර වෙනත් විදිහකින් කාන්තාවට ප්‍රගතියක් බලාපොරොත්තු විය නොහැකිය.
මේ යහපාලන රජය බිහි වූ දා සිට මෙරට ප්රගතිශීලී කාන්තා පරපුර බලාපොරොත්තු වූයේ සම්ප්රදායිකත්වයේ සියළු බාධක බිඳ දමා නූතන යුගයක් කරා යෑමටය. සම්ප්‍රදායික පවුල් ක්‍රමයට පයින් ගසා විවාහය නම් පුරුෂාධිපත්‍ය සිරකුටියෙන් මිදීමටය. කුස්සියත් හැඳිමිටත් වලදමා සම්ප්‍රදායික ගෘහණියගේ භූමිකාව පලවා හැරීමටය. පිරිමියාගේ කාම ආශාව සන්සිඳුවමින් පිරිමින්ගේ කාමුකත්වයට සහය දක්වන විලාසිතාකරමින් දරුවන් වදමින් සම්ප්‍රදායික මවගේ භූමිකාව කිරීමට නැවතීමේ තිත තැබීමටය. පුරුෂයන්ට නොදෙවෙනි කාන්තාවන් පෙරට ගෙන සියළු ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට සම අවස්ථා ලබා දෙමින් විසමලිංගික උත්තමවාදය පලවා හැරීමටය. බාල වයස්කාරියන් අඹුකමට ගෙන හොර විවාහ කරගන්නා සල්ලාලයන්ට මරන දඬුවම ක්‍රියාත්මක කරවීමටය. එහෙත් ඒ බලාපොරොත්තු කිසිවක් ඉටු උනාද? කාන්තා දිනයේ වැදගත්කමවත් නොදැන ඇතැම් රජයේ ආයතන වල කාන්තා දිනය සමරා ඇත්තේ පන්සල් වලට ගොස් මල් පහන් පුදා ආගමික කටයුතු කිරීමෙනි. මේ මොන මෝඩකම්ද? තවත් සමහර කාන්තා වැඩසටහන් ඉවුම් පිහුම් රූපලාවන්‍ය කටයුතු වලට සීමා වී තිබුණි. තවත් සමහර පෞද්ගලික ආයතන වල කාන්තා දින උත්සව පවත්වා කාන්තාවන්ට ගෞරව කරන බවක් පෙන්වීමට කර තිබෙන්නේ සම්ප්‍රදායික ගෘහණියන් හා ගෙදර බුදුන් අම්මා පට්ටම වර්නනා කිරීමයි. මේවා විහිළුය. නව යුගයේ කාන්තා පරපුරකට මේ කිසිවකින් වැඩක් නැත. අවශ්‍ය වන්නේ පුරුෂයාගේ සියළු කියුම් කෙරුම් වලට අභියෝග කළ හැකි පුරුෂයින්ට සමාන ශක්තිමත් එඩිතර කාන්තා පරපුරක් හදා ගැනීමයි. එහෙත් ඊට මෙවර කාන්තා දිනයේදීත් නිවැරදි අඩිතාලම වැටුනේ නැත. එය අතිශයින්ම කනගාටුදායකය.
Friday, January 29, 2016
නව ව්‍යවස්ථාවට උපරිම සහය දෙමු
කලක් තිස්සේම වෙර වීරිය යොදා පැවති දුෂ්ඨ පාලනය පලවා හැර වසර 2015 ජනවාරි 8 අප නැවුම් බලාපොරොත්තු සහිතව යහපාලනය උදා කර ගත්තෙමු. එතැන් පටන් විරුද්ධවාදී සම්ප්‍රදායික මතදාරීන්ගෙන් ඊට එල්ල උනේ පොඩි බාධාවක් නොවේ. අදටත් එය එසේමය. නැවුම් බලාපොරොත්තු ඇතිව පත් කරගත් යහපාලන රජය තුලින් ඒ බලාපොරොත්තු ඉටු කරගන්නා තෙක් රජය රැක ගැනීම අප සියල්ලගේ වගකීමයි. විශේෂයෙන් මෙරට වනිතා පරපුරට යහපතක් වන්නේ මේ රජයෙන් පමණි. නැවත සම්ප්‍රදායික ජාතිවාදී පුරුෂාධිපත්‍ය රජයන ආණ්ඩුවක් ඇති වුවහොත් සියළු බලාපොරොත්තු සුන් වේ. දැන් ජාතිවාදය මර්ධනය වී ඇත. එය එසේම විය යුතුය. ඉදිරියේදී පුරුෂාධ්පත්යටද එසේ වේ යැයි බලාපොරොත්තු වෙමු. සියළු බාධක මැද මේ වන විට නව ව්‍යවස්ථාවක් ගැන කතාබහ රට පුරා ඇති වීතිබේ. එයටත් සම්ප්‍රදායික ජාතිවාදී බලවේග වලින් ගල් මුල් ප්‍රහාර එල්ල වෙමින් තිබේ. කෙසේ හෝ මේ බලවේග පරාජයට පත් කර අපේ අරමුනු ඉටු කරගන්නට දැන් සිට වෙහෙස මහන්සි විය යුතුය.
නව ව්‍යවස්ථාව ගැන කවුරු මොකක් කිවුවත් මෙරට කාන්තා පරපුරට ඒය වාසි සහගතය. මේ රටේ බුද්ධිමත් කාන්තා පරපුර තව දුරටත් මේ ජාතිවාදී ආක්ල්ප හිසින් දරාගෙන ජාතිය රැකීමට බැඳී සිටිය යුතු නැත. සිංහල ජාතිවාදීන්ගේ ජාතියේ පුරුෂාධිපත්‍ය ගෙන යෑමට දරුවන් වදා දීම නූතන කාන්තා පරපුරේ වගකීම නොවේ. මේ යල්පැනගිය ආකල්ප වලින් මිදී නව ව්‍යවස්ථාවක් හරහා රටේ ඉදිරි වෙනස්කම් සියල්ල කිරීමට කාන්තාවන් සියළු දෙනා යහපාලන රජයට සහය දිය යුතුය. මේ නව ව්‍යවස්ථාවෙන් සිංහල ජාතිවාදයට මරු පහරක් එල්ල වීම ගැන කාන්තාවන් දුක් නොවිය යුතුය. ඒතුලින් රටේ සුළු ජනකොටස් වල අයිතීන් රැකීම ඔවුන්ට සම අවස්ථා ලැබීම බලය බෙදීම හරහා ස්වයං තීරන ගැනීමේ අයිතිය තහවරු වීම කාන්තාවන්ගේ පැත්තෙන් බැලුවත් සාධාරනය. සුළු ජන අයිතීන් මෙන්ම කාන්තා අයිතීන් ශක්තිමත් වීමටද නව ව්‍යවස්ථාව මහෝපකාරී වනවා ඇත. ඒ තුළින් කාන්තා අයිතීන් රැකීමටද ක්‍රියා කිරීමට හැකිනම් කාන්තාව රජයට බල කළ යුතුය. ඒ අයුරින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ සියළු අයිතිවාසිකම් රැකීමට ක්‍රියා කළ හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය වේ යැයි සිතිය හැක. එසේ නොවන්නේනම් ඊටද බල කළ යුතුය. එහිදීත් පෙරට ආ යුත්තේ කාන්තා පරපුරයි. රටේ ඉදිරි ගමන වෙනස් කරන තීරනාත්මක කාල පරිච්චේදය ඉදිරියේදී උදා වනු ඇත. ඊට මෙරට බුද්ධිමත් කාන්තා පරපුරේ සහය ලැබෙනු ඇත යන්න වනිතා හඬේ විශ්වාසයයි. කාන්තාවගේ අනාගත යහපත වෙනුවෙන් නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට හැකි වේවා කියා වනිතා හඬ ප්‍රාර්ථනා කරනවා.
Wednesday, November 25, 2015
යහපාලනය කනපිට හරවන්න ඉඩ නොදෙමු
ජනවාරි 8න් පස්සේ සුවහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන මේ රටේ බුද්ධිමත් ජනයා සහ විශේෂයෙන් බුද්ධිමත් කාන්තා ප්‍රජාව විසින් බලයට ගෙන ආ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මැති තුමා අගමැති ලෙස පත් කරගත්තේය. ඉන් පසු අගෝස්තු මස 17 වනදාත් මේ ගමන නැවතත් නැවුම් බලාපොරොත්තු මත ඉදිරියට යමින් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ කොටගත් යහපාලන රජයක් බිහි විය. එදා සිට මේ දෙස ජාතිවාදීන් බැලුවේ වපර ඇසිනි. සිංහල ජාතිවාදීන් එදා සිටම යහපාලනය කනපිට හැරවීමට කුමන්ත්‍රණ කළා. සිංහල ජාතිවාදීන් සමග සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී රැලද සිටී. මේ සියළු දෙනාට අවශ්‍ය යහපාලනය යටතේ ලංකාව නූතනවාදී රටක් ලෙස සියළු දෙනාට සම අවස්ථා ලැබෙන නව ගමන් මගක යෑම අවහිර කිරීමයි. සිංහල ජාතිවාදී කොටස් සුළුතර ජනවර්ග වලට සම අවස්ථා හිමි වනවාට විරුද්ධය. ඇතැම් රනකාමී පිරිස් දැන් එදා යුධ පිටියේ විවිධ වැරදි හා විනය විරෝධී වැඩ කළ හමුදා සාමාජිකයන්ට දඬුවම් කිරීමට විරුද්ධය. වැරදි කළකාටත් එක සමාන ලෙස දඬුවම් දිය යුතුය. එකළ හමුදා මෙහෙයුම් සිදු වෙද්දී හමුදා සාමාජිකයින් ස්ත්‍රී දූෂණ කෙතරම් කර තිබේද්? මේවා කිසිවක් බොරු නොවේ. හමුදා සාමාජිකයින් අතඩංගුවට පත් කොටි කාන්තාවන් කී දෙනෙකු දූෂණය කර තිබේද? මේවා අපරාධ නොවේද? යුධ අපරාධ වලට දඬුවම් කළ යුතුමයි. එය වනිතා හඬෙන් තරයේ කියා සිටිනවා. බොහෝ සිංහල ජාතිවාදී බොරු වීරයන් පුරුෂාධිපත්‍ය ඉහට ගත්ත අය වේ. මේ අය කාන්තාවන්ට සමාජයේ සෑම තැනම සම අවස්ථා ලැබෙනවාට අක්මැතිය. ඒ වගේම ලිංගික අනන්‍යතා වල විවිධත්වය මොවුන් පිළි නොගනී. එක්සත් ජාතික පක්ෂය සමග දැඩි වෛරයකින් පෙළෙන ඇතැම් ජාතිවාදීන්ට එක්සත් ජාතික පක්ෂය තුල ලිංගික අනන්‍යතාවල විවිධත්වයන්ට ඇති සමානාත්මතාවය පෙනෙන්නට බැරිය. ලෝකය ඉදිරියට යද්දී මොවුන් සම්ප්රදාය තුල හිර වෙති. යහපාලන රජයේ බුද්ධිමත් සාමාජිකයින් කුමක් කළත් මේ සිංහල ජාතිවාදීන් ඔවුන්ගේ ලිංගිකත්වය ගැනත් ප්‍රශ්න කරමින් අවලාද නගති. මේ අයගෙන් සමහරුන්ට අපගේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ළමයි නැති එක ගැන මහා රුදාවක් ඇතිය. ළමයි හැදීම නූතන ලෝකයේ මහා ලොකු වීරකමක් ලෙස නොසැලකේ. මේ මෝඩ සම්ප්‍රදායන් පමනි. දැන් අයවැයක් අල්ලාගෙන යහපාලන රජයට අවලාද නැගීමටත් රජය පෙරලා දැමීමටත් සිංහල බෞද්ධ ජාතිවාදය කටයුතු කරමින් සිටියි. යුද්ධයට ධනය විනාශ කර යුද්ධයෙන් පසුවත් හොරා කමින් රට ණය බරින් පීඩාවට පත් කර බංකොලොත් ආර්ථිකයක් සමග පසුගිය රජය වත්මන් යහපාලන රජයට රට බාර දුන්නා මතක නැද්දැයි ඔවුන්ගෙන් අසන්නට ඇත්නම් හොඳය. එවැනි තත්වයක් යටතේ යහපාලනය සමග මේ තරමට හෝ ජනතාවට සහන දෙමින් රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන වත්මන් රජයට ස්තූතිවන්ත විය යුතුය. මේ මොන චෝදනාවක් හෝ ගෙනැවිත් ජනවාරි 8 දිනූ යහපාලනය නැවත පාවා නොදිය යුතුය. විශේෂයෙන් රටේ බුද්ධිමත් කාන්තා පරපුරේ අනාගතය වෙනුවෙන් මේ යහපාලනය රැකගත යුතුය. මේ වන විටත් රාජ්‍ය නොවන සංවිධාන හා බහුජන සංවිධාන වල කටයුතු ගනනාවකට සහය වෙමින් අධික කාර්යබහුල තත්වය ඉඳිමින්ම මේ ටික ලීවේ එයද දැන් තිබෙන තත්වයක අනුව අත්‍යාවශ්‍ය දෙයක් කියා පෙනී ගිය නිසයි.
Sunday, September 20, 2015
මෙවන් විපත් නැවත නොවෙන්න නම්
ගම්පහ කොටදෙනියාව ප්‍රදේශයේ කුඩා ගැහැනු දැරිවියක් කාමුක සල්ලාලයෙකු විසින් බරපතල ලෙස අපයෝජනයට ලක්කරමින් ඝාතනය කිරීමේ ශෝක ජනක සිද්ධිය ගැන මේ ලිපිය ලියන්නට සිත් වූයේ මේ අපේ රටේම බ්ලොග් ලියන තවත් කෙනෙකුගේ කාලකන්නි පෝස්ට් එකක් දැකීමෙන් පසුවයි. මේ බ්ලොග් පෝස්ට් එක දමා තිබුණේ "ජෙමාගේ හතරවරම්" නමින් බ්ලොග් ලියන කෙනෙකුයි. ඔහු බ්ලොග් පෝස්ට් එක පුරාවට කියා ඇත්තේ මේ රටේ අහිංසක වැරදි නොකරන පිරිමින්ට බොහෝ අහින්සක ආශාවල් ඇති බවයි. මේ ආශාවල් කාන්තාවන්ගේ අඟපසඟ කෙරෙහි ලස්සන ඇඳුම් පැලඳුම් කෙරෙහි මෙන්ම ස්ත්‍රී ශරීරයම කෙරෙහි ඇති වෙනවලු. ඉතින් ඒව ඉෂ්ඨ කරගන්න අවස්ථාව නොලැබෙනකොට එක්කො ගනිකාවන්ගේ පිහිට පතනවලු. සමහර විට අසහනෙන් ඉඳල අසහනේ වැඩි උනහම කෙල්ලෙක් උස්සන් ගිහිල්ල දූෂණේ කරල බෙල්ල මිරිකලා මරයි ලු. ඉතින් මේ වැඩේ වෙන්නේ නෑලු එයා වටින් ගොඩින් කියන විදිහට ගණිකාවන් ආස්‍රය කරන්න ඉඩ තිබුණනම්. ඒ වගේම ලිංගික අධ්‍යාපනේ අඩුයි කියලත් මෙයා කියනවා. මෙයාගේ පෝස්ට් එකේ විදිහට ගෑනු දරුවන් අර විදිහට දූෂණය වෙලා මැරෙන්නේ නැති වෙන්නනම් අනිවාර්යෙන්ම මේ වැරදි නොකරන යහපත් පිරිමිනේ කාම ආශාවල් සංසිඳුවාගන්නට වෙනත් ක්‍රමයක් හැටියට ගණිකා ඇසුර හෝ තිබිය යුතු බවයි. මෙයා කියනව සමහර විට කසාද බැඳපු නැති කෙනෙකුට ආසාව ඉශ්ඨ කරගන්න ක්‍රමයක් නැති වෙන එක ලොකු ප්‍රශ්නයක් ලු. ඒවගේම බිරිඳ ලිංගික කටයුතු වලට උනන්දු නොවීමත් හොඳ යහපත් පිරිමින්ට ප්‍රශ්න වෙනවලු. ඉතින් මේ වගේ හේතු නිසාවත් මෙයාගේ බාසාවෙන්ම බඩු දීපල්ලා කියල කියන්න ඕනෙලු බඩු ගසාවත් ආශාව ඉටු කරගන්න. අනේ මෙහෙමත් ගෑනුන්ට අපහාස කරන්නම උපන් මිනිස්සු.
මේ යහපත් විනීත පිරිමි අයට තමන්ගේ කාම ආශාව වෙනුවෙන් කාන්තාවන් අවශ්‍යය. ඒ වගේම ඔවුන්ගේ දරුවන් වදමින් දරුවන් වෙනුවෙන් සම්ප්‍රදායික මවගේ හා ගෘහණියගේ භූමිකාව කළ යුතුය. මින් එහා යමක් කාන්තාවන්ට නැත. හොඳින් ඇස් ඇර බලන්න කාන්තාවන් කුඩා කල සිටම පුරුදු පුහුණු වී ඇත්තේ අනාගතේ විවාහයට පත්ව පිරිමියෙකුගේ කාම ආශාව සංසිඳුවමින් දරුවන් වදා දෙමින් පිරිමින්ට සියළු වහල්කම් කිරීමට නොවේද? මේ ආකාරයට කුඩා අවධියේ සිට හැදී වැඩී සිටීම ගැහැනි දැරිවියන් අතවර වලට ලක්වීම ආදී කරදර වලට ලක්ව අකාලයේ මිය යෑමට පවා හේතු නොවේද? ඇත්තෙන්ම මේ වගේ දේවල් නොවීමටනම් වෙනස් වෙන්නට ඕනෑ වෙන්නේ මේ වැරදි සමාජ ක්‍රමයයි. ගම්පහ කොටදෙනියාවේ දැරිවියද මේ වැරදි සමාජ ක්‍රමය විසින් ගොදුරු කර ගත්තේය. වරද ඇත්තේ ගැහැනු ළමුන් කුඩා කල සිටම අනාගතේ විවාහ කර දී දරුවන් හැදීමේ වගකීම පවරා ගෙවල් වල පිරිමින්ට වහල් කමට දීමටම හැදීමේ අමන කමේයි. මෙයට වැඩිහිටි කාන්තාවන් මෙන්ම සම්ප්රදායිකත්වයේ එරී සිටින ගෙදර බුදුන් අම්මා පට්ටම පමණක් තිබෙන මෝඩ මවුවරුන්ද වගකිව යුතු වේ. මෙවැනි විපත් නොවීමටනම් කාන්තාවන් ගණිකාවන් නොකර ඔවුන්ට නූතන යුගයට ගැලපෙන අදහස් ලබා දී පිරිමින්ගේ කාමුක අවශ්‍යතා සපුරන ක්‍රමයෙන් අත් මිදීමට ඉගැන්විය යුතුය. පිරිමින්ගේ කාම ආශාවල් කාන්තාවන්ට වැදගත් දෙයක් බවට බලෙන් පත් කර ඇත. මෙය කාන්තාවන්ගේ ජීවිත වලට අනිවාර්යයෙන් වලංගු වන අත්‍යාවශ්‍ය දෙයක් නොවේ. සම්ප්‍රදායික ලෙස නොසිතා නවීන ලෝකයට මෙරට කාන්තා පරපුර ගෙන යෑමට දැන් කාළය එළඹී ඇත. දැරියන් දූෂණය වන එක වැලැක්වීමට පිරිමින්ගේ යහපත් බිරින්දෑවරුන් වීම හෝ එසේ බැරිනම් ලිංගික අධ්‍යාපනයෙන් කොන්ඩම් දමාගන්නා හැටි ඉගනගෙන විවාහ නොවී පිරිමින්ට ආශාවල් ඉෂ්ඨ කරදීම හෝ ගණිකාවන් වීම මෙකළ කාන්තාවන්ට කොහෙත්ම නොවටියි. එසේම එය පුරුෂාධිපත්‍යයේ සම්ප්රදායකි. මේවා රැකීම නොව වත්මන් කාන්තා පරපුර නව දැනුමෙන්ද නව ආකල්ප වලින්ද ශක්තිමත් වී පිරිමියාට හැම අතින්ම අභියෝග කරමින් ඉදිරියටම යෑම විය යුතුය. එසේ වන දාට තවත් කොටදෙනියාවල් ගැන අපට අසන්නට නොලැබෙනු ඇත. පිරිමින්ගේ ආසාවල් ඉෂ්ඨ කිරීමට වඩා වැදගත් කටයුතු වත්මන් උගත් බුද්ධිමත් කාන්තාවන්ට බොහෝ ඇත. පිරිමින්ගේ කාම ආශාව සංසිඳුවීම මොනම ලෙසකින්වත් කාන්තාවගේ නිත්‍ය වගකීමක් නොවේ. මෙය තරයේ සිහි තබා ගත යුතුය. ගම්පහ කොටදෙනියාවේ දැරියට ඒ මහා කාම අපරාධය කර ඇය මරා දැමූ වරද ක්කරුවාට මරන දඬුවම දිය යුතුමය. නව රජය ඒ ගැන නිසි පියවර ගනු ඇති බවද විශ්වාසයි.
" ජෙමාගේ හතරවරම් " බ්ලොග් එකේ පල වූ ලිපිය
http://4warang.blogspot.com/2015/09/blog-post_20.html
Friday, August 21, 2015
ජයග්‍රාහී එක්සත් ජාතික පක්ෂයටත් අගමැති රනිල් වික්‍රමසිංහ මතාටත් සුභපැතුම්
සම්ප්‍රදායිකත්වයත් අන්ත ජාතිවාදයත් පරදවා මෙවර එක්සත් ජාතික පක්ෂය මැතිවරනයෙන් ජයගත්තේ රටටම වටිනා ආදර්ශයක් ලබා දෙමිනි. ඒ රට ගමන් කළයුත්තේ නූතන ලෝකය ගමන් කරන අතට බවත් සම්ප්රදායිකත්වය හා සිංහල ජාතිවාදය තව දුරටත් වලංගු නැති බව මැතිවරණ ප්‍රතිඵලයෙන් ඔප්පු වූ පසුබිමක් තුලයි. රටත් බුද්ධිමත් ජනතාවත් විශේෂයෙන් මෙරට බුද්ධිමත් කාන්තා පරපුරත් ජයග්‍රාහී මාවතකට අවතීර්න කළ එක්සත් ජාතික පක්ෂ නායක අති ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහනය කරවූ සුවහසක් ජනී ජනයාටත් වනිතා හඬ තුලින් ගෞරවය පුදකරන්නට උවමනාය.
එක්සත් ජාතික පක්ෂයට ජය වේවා
රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ට ජය වේවා
රනිල් වික්‍රමසිංහ මැතිඳුන් අගමැති කර ඔහු රැකගත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ජයෙන් ජයම වේවා.
Saturday, July 18, 2015
සිංහල ජාතිවාදීන්ගේ NGO භීතිකාව
මහින්ද රාජපක්ෂ බලේට ගෙනාපු සිංහල ජාතිවාදියෝ හිතුවේ මහින්ද LTTE සංවිධානය විනාශ කළ නිසාම කිසි දිනක චන්දයකින් පරදින්නේ නැති වෙයි කියාය. ඒ ජාතිවාදීන්ගේ මනසේ කාලයක් තිස්සේම පැලපදියම් වී ඇති ජාතිවාදී ඉතිහාස කතා හා බොරු පුරාජේරු වලට අනුවයි. නමුත් ජාතිවාදීන්ගේ සියළු බලාපොරොත්තු සුන්කර දමමින් ජනවාරි 8වනදා එලිවන විට ඔවුන්ගේ මහරජාට තේජාන්විත පදවියද අත්හැර දමා යන්නට විය. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට බහුතර ජනතා කැමැත්තෙන් ජනපති වී යහපාලනය ජයගැනීමත් සමගයි. එතැන් පටන් රටත් ජනතාවත් ලැබූ ජයග්රහනයන් දැක කුලප්පු වූ සිංහල ජාතිවාදී කණ්ඩායම් නැවතත් යහපාලන ජයග්රහණයන් ආපසු හරවා රටම ජාතිවාදී මාවතකට තල්ලු කිරීමට උත්සහ කරමින් සිටිති. මෙය ඒ තරම් සුබදායක නැත. මහින්ද රාජපක්ෂ කියන තක්කඩියා මේ සියල්ල පසුපස සිටී. ඒත් ඇත්තම සිද්ධිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර යෑමට අදහස් කළත් සිංහල ජාතිවාදීන් ඔහුව නැවතත් දේශපාලනයට ගෙන එමින් ජාතිවාදී ගමනක් යන්නට උත්සහ කිරීමයි.
ලංකාව යනු සිංහල ජාතිවාදීන් කෙසේ කීවත් සිංහල බෞද්ධ රටක් යැයි කිව නොහැක. එය මෙරට ජීවත් වන අන්‍ය ජන කොටස් වලට කර අසාධාරණයක් මෙන්ම සිංහල ජාතිවාදීන්ගේ උවමනාවට සිංහල බෞද්ධ අටමගලය අන්‍ය ජාතීන්ට බලෙන් පැටවීමකි. මේ සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම පරාජය වීමට NGO වල ක්‍රියා කලාපය බලපෑවාට කිසිම සැකයක් නැත. සිංහල ජාතිවාදීන් NGO කණ්ඩායම් ගැන බද්ධ වෛරයකින් පසුවන්නේ ඒ නිසයි. ලංකාවේ ක්‍රියාත්මක වන NGO බොහොමයක් සිංහල ජාතිවාදයට විරුද්ධය ඒ වගේම සම්ප්‍රදායික ගතානුගතික සමාජය පිළිනොගනියි. NGO කණ්ඩායම් වලට බටහිර රටවලින් මුදල් ලැබීම ගැනත් සිංහල ජාතිවාදීන් පසුතැවෙන්නේ බටහිර රටවල් තම සතුරන් ලෙස සලකමිනි. මේ ඔවුන්ගේ මෝඩ මනස්ගාත විතරකි. බටහිර රටවල් අපට අත හිත නොදෙන්නේද? ලංකාවේ දේශපාලකයින් ජනතාවට කරන කියන දේ සමග සංසන්දනය කර බලන විට NGO පිරිස මේ රටට කර තිබෙන සේවය ඊට වඩා වැඩිය. සිංහල ජාතිවාදීන් කුමක් කීවත් මේ රට බහු වාර්ගික රටක් මිස විශේෂයෙන් කාටවත් අයිති නැත. NGO කණ්ඩායම් මේ රට තුල පිළිගන්නේ එම බහු වාර්ගිකත්වය මිස සිංහල බෞද්ධ අටමගලය නොවේ.
සිංහල ජාතිවාදීන් බොහෝ දෙනෙක් සම්ප්‍රදායික පුරුෂාධිපත්යවාදීන්ද වෙයි. මේ මෝඩ මිනිසුන් කාන්තාවන් පීඩාවට පත් කිරීමටද රුසියෝය. NGO පිරිස එහිදීද ජාතිවාදී පුරුෂාධිපත්‍ය උමතුවට එරෙහි වේ. මෙයද සිංහල ජාතිවාදීන්ට නොරිස්සුම්සහගතය. කවුරුන් කෙසේ කීවත් බටහිර රටවල් හා එම රටවලින් ආධාර ගෙන අපේ රටට අමිල සේවයක් කරන රාජ්‍ය නොවන සංවිධාන ජාලය මේ රටට හිතවත්ය. සිංහල ජාතිවාදීන්ටනම් මුළු බටහිරම වහ කදුරුය. ඒ ඔවුන්ගේ විකාරයක් පමණි. බටහිර රටවල් ලෝකයට මිල මුදලෙන් පමණක් නොව දැනුමෙන් තාක්ෂණික අංශයෙන් හා වෙනත් විවිධාකාරයන්ගෙන් උදවු උපකාර කරයි. එහෙයින් එම රටවල් අපේ සතුරන් ලෙස දැකීම සාධාරණද? අපේ රටේ ඉන්න මහා ලොකු අධිරාජ්‍ය විරෝධී සිංහල බෞද්ධ වීරයන් අධිරාජ්යවාදයෙන්ම ලැබෙන යම් යම් දේ පරිහරනය කරනු දකින විට අපටනම් සිනාසෙන්නට කටවල් මදිය. අද රටේ සිද්ධවෙන දේවල් ගැන ඇත්ත තොරතුරු බොහොමයක් දැනගන්නට හැක්කේද NGO ආධාර වලින් ගෙනයන විකල්ප පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය හරහායි. එම මාධ්‍ය මද්‍යස්ථ වේ. එයද ජාතිවාදීන්ට පෙන්නන්නට බැරිය. ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ අන්තවාදය පැත්තේ ඉඳන් අන් සියළු දෙනාට පහර දෙන මාධ්‍ය පරතිපත්ති වේ. එය මේ කපේ කළ නොහැක. ඔවුන්ට අනුව යුද්ධයෙන් LTTE සංවිධානය පරාජය කිරීම ආදිය ඉහලින් වර්නනා කළ යුතුය. යුද්ධයට නායකත්වය දීපු එවුන්ද විරුවන්ය. ඔවුන්ටද ආවඩන්නට ඕනෑය. NGO මාධ්‍ය මධ්‍යස්ථව සිටිමින් මහා යුධ විරුවන්ගේ රෙදි ගලවන නිසා ඒ මාධ්‍ය වලට ජාතිවාදීන් විරුද්ධ්ය.NGO ජාලය සමලිංගිකත්වයට පක්ෂය ඒ සියළුම ලිංගික අනන්‍යතාවයන්ට එක සමාන ලෙස සැලකීමට ඔවුන් දන්නා නිසාය. සිංහල ජාතිවාදීන්ට එයද දිරවාගත නොහැක. අද දියුණු ලෝකයේ ඇති මෙවැනි ප්රවණතා ගැන ජාතිවාදී ළිං මැඩියන්ට දැනගන්නට උවමනාවක් නැතිකමද කනගාටුදායකය.
සිංහල ජාතිවාදීන් තවත් සිතා සිටින්නේ ඔවුන්ගේ ජාතිවාදී බොරු විශ්වාස කරන පිරිස අති විශාලයි කියලාය. ඒ ඔවුන්ගේම විකාරයකි. පාර්ලිමෙන්තු මහ මැතිවරණයට ලක ලෑස්ති වන මේ මොහොතේ සිංහල ජාතිවාදීන් පැරදුනු මහින්ද උන්නැහේවත් වට කරගෙන නැවතත් ජාතිවාදය වපුරා ආණ්ඩු පිහිටුවීමට උත්සහ කරමින් සිටියි. එහෙත් මෙවර ඔවුන්ට ජාතිවාදය මාකට් කළ නොහැක. මහින්ද රාජපක්ෂ නම් හොර තක්කඩියා වටා මහා ජන ගංගාවක් සිටින බව ඒත්තු ගැන්වීමට කොතෙක් උත්සහ කරත් එය සාර්ථක වන්නේ නැත. ඒ ඊට වඩා ජනකායක් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා වටා එක් වෙමින් ජනවාරි 8 වනදා දිනාගත් යහපාලනය රැක දෙන ලෙස ඉල්ලා සිටින බැවිනි. ජනවාරි 9 උදේ වනවිට උන ගත්තාටත් වඩා සැරට මෙදා සැරේ ජාතිවාදීන්ට උන ගැනෙන්නේ අගෝස්තු 18 උදේයි. ඒ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී නව එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිවන ආකාරය දැකීමේදීයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහයද රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇත. ඒ ඔහු ජාතිවාදියෙකු නොවන නියම මහත්මයෙක් නිසාය. NGO සහයද නව රජයට ලැබෙනු නොඅනුමානය. එතැන් සිට සිදුවන්නේ ජාතිවාදී කිසිවිට නොහිතන දේවල් වේ. ඔවුන්ගේ සතුරන් වන බටහිර රටවල් අපට උදවු කරනු ඇත. නව එක්සත් ජාතික පක්ෂ රජය ලෝකයේම පැසසුමට ලක්ව ජාත්‍යන්තරයේම සහය ලබාගෙන රට නූතන යුගයක් කරා ගෙන යනු නියතය. සම්ප්‍රදායික ජාතිවාදීන්ට සිදුවන්නේ ඒ දෙස බලා හූල්ලා මැරෙන්නටය.
Subscribe to:
Posts (Atom)