Sunday, September 20, 2015

මෙවන් විපත් නැවත නොවෙන්න නම්


ගම්පහ කොටදෙනියාව ප්‍රදේශයේ කුඩා ගැහැනු දැරිවියක් කාමුක සල්ලාලයෙකු විසින් බරපතල ලෙස අපයෝජනයට ලක්කරමින් ඝාතනය කිරීමේ ශෝක ජනක සිද්ධිය ගැන මේ ලිපිය ලියන්නට සිත් වූයේ මේ අපේ රටේම බ්ලොග් ලියන තවත් කෙනෙකුගේ කාලකන්නි පෝස්ට් එකක් දැකීමෙන් පසුවයි. මේ බ්ලොග් පෝස්ට් එක දමා තිබුණේ "ජෙමාගේ හතරවරම්" නමින් බ්ලොග් ලියන කෙනෙකුයි. ඔහු බ්ලොග් පෝස්ට් එක පුරාවට කියා ඇත්තේ මේ රටේ අහිංසක වැරදි නොකරන පිරිමින්ට බොහෝ අහින්සක ආශාවල් ඇති බවයි. මේ ආශාවල් කාන්තාවන්ගේ අඟපසඟ කෙරෙහි ලස්සන ඇඳුම් පැලඳුම් කෙරෙහි මෙන්ම ස්ත්‍රී ශරීරයම කෙරෙහි ඇති වෙනවලු. ඉතින් ඒව ඉෂ්ඨ කරගන්න අවස්ථාව නොලැබෙනකොට එක්කො ගනිකාවන්ගේ පිහිට පතනවලු. සමහර විට අසහනෙන් ඉඳල අසහනේ වැඩි උනහම කෙල්ලෙක් උස්සන් ගිහිල්ල දූෂණේ  කරල බෙල්ල මිරිකලා මරයි ලු. ඉතින් මේ වැඩේ වෙන්නේ නෑලු එයා වටින් ගොඩින් කියන විදිහට ගණිකාවන් ආස්‍රය කරන්න ඉඩ තිබුණනම්. ඒ වගේම ලිංගික අධ්‍යාපනේ අඩුයි කියලත් මෙයා කියනවා. මෙයාගේ පෝස්ට් එකේ විදිහට ගෑනු දරුවන් අර විදිහට දූෂණය වෙලා මැරෙන්නේ නැති වෙන්නනම් අනිවාර්යෙන්ම මේ වැරදි නොකරන යහපත් පිරිමිනේ කාම ආශාවල් සංසිඳුවාගන්නට වෙනත් ක්‍රමයක් හැටියට ගණිකා ඇසුර හෝ තිබිය යුතු බවයි. මෙයා කියනව සමහර විට කසාද බැඳපු නැති කෙනෙකුට ආසාව ඉශ්ඨ කරගන්න ක්‍රමයක් නැති වෙන එක ලොකු ප්‍රශ්නයක් ලු. ඒවගේම බිරිඳ ලිංගික කටයුතු වලට උනන්දු නොවීමත් හොඳ යහපත් පිරිමින්ට ප්‍රශ්න වෙනවලු. ඉතින් මේ වගේ හේතු නිසාවත් මෙයාගේ බාසාවෙන්ම බඩු දීපල්ලා කියල කියන්න ඕනෙලු බඩු ගසාවත් ආශාව ඉටු කරගන්න. අනේ මෙහෙමත් ගෑනුන්ට අපහාස කරන්නම උපන් මිනිස්සු.
                                         මේ යහපත් විනීත පිරිමි අයට තමන්ගේ කාම ආශාව වෙනුවෙන් කාන්තාවන් අවශ්‍යය. ඒ වගේම ඔවුන්ගේ දරුවන් වදමින් දරුවන් වෙනුවෙන් සම්ප්‍රදායික මවගේ හා ගෘහණියගේ භූමිකාව කළ යුතුය. මින් එහා යමක් කාන්තාවන්ට නැත. හොඳින් ඇස් ඇර බලන්න කාන්තාවන් කුඩා කල සිටම පුරුදු පුහුණු වී ඇත්තේ අනාගතේ  විවාහයට පත්ව පිරිමියෙකුගේ කාම ආශාව සංසිඳුවමින් දරුවන් වදා දෙමින් පිරිමින්ට සියළු වහල්කම් කිරීමට නොවේද? මේ ආකාරයට කුඩා අවධියේ සිට හැදී වැඩී සිටීම ගැහැනි දැරිවියන් අතවර වලට ලක්වීම ආදී කරදර වලට ලක්ව අකාලයේ මිය යෑමට පවා හේතු නොවේද? ඇත්තෙන්ම මේ වගේ දේවල් නොවීමටනම් වෙනස් වෙන්නට ඕනෑ වෙන්නේ මේ වැරදි සමාජ ක්‍රමයයි. ගම්පහ කොටදෙනියාවේ දැරිවියද මේ වැරදි සමාජ ක්‍රමය විසින් ගොදුරු කර ගත්තේය. වරද ඇත්තේ ගැහැනු ළමුන් කුඩා කල සිටම අනාගතේ විවාහ කර දී දරුවන් හැදීමේ වගකීම පවරා ගෙවල් වල පිරිමින්ට වහල් කමට දීමටම හැදීමේ අමන කමේයි. මෙයට වැඩිහිටි කාන්තාවන් මෙන්ම සම්ප්‍රදායිකත්වයේ එරී සිටින ගෙදර බුදුන් අම්මා පට්ටම පමණක් තිබෙන මෝඩ මවුවරුන්ද වගකිව යුතු වේ. මෙවැනි විපත් නොවීමටනම් කාන්තාවන් ගණිකාවන් නොකර ඔවුන්ට නූතන යුගයට ගැලපෙන අදහස් ලබා දී පිරිමින්ගේ කාමුක අවශ්‍යතා සපුරන ක්‍රමයෙන් අත් මිදීමට ඉගැන්විය යුතුය. පිරිමින්ගේ කාම ආශාවල් කාන්තාවන්ට වැදගත් දෙයක් බවට බලෙන් පත් කර ඇත. මෙය කාන්තාවන්ගේ ජීවිත වලට අනිවාර්යයෙන් වලංගු වන අත්‍යාවශ්‍ය දෙයක් නොවේ. සම්ප්‍රදායික ලෙස නොසිතා නවීන ලෝකයට මෙරට කාන්තා පරපුර ගෙන යෑමට දැන් කාළය එළඹී ඇත. දැරියන් දූෂණය වන එක වැලැක්වීමට පිරිමින්ගේ යහපත් බිරින්දෑවරුන් වීම හෝ එසේ බැරිනම් ලිංගික අධ්‍යාපනයෙන් කොන්ඩම් දමාගන්නා හැටි ඉගනගෙන විවාහ නොවී පිරිමින්ට ආශාවල් ඉෂ්ඨ කරදීම හෝ ගණිකාවන් වීම මෙකළ කාන්තාවන්ට කොහෙත්ම නොවටියි. එසේම එය පුරුෂාධිපත්‍යයේ සම්ප්‍රදායකි. මේවා රැකීම නොව වත්මන් කාන්තා පරපුර නව දැනුමෙන්ද නව ආකල්ප වලින්ද ශක්තිමත් වී පිරිමියාට හැම අතින්ම අභියෝග කරමින් ඉදිරියටම යෑම විය යුතුය. එසේ වන දාට තවත් කොටදෙනියාවල් ගැන අපට අසන්නට නොලැබෙනු ඇත. පිරිමින්ගේ ආසාවල් ඉෂ්ඨ කිරීමට වඩා වැදගත් කටයුතු වත්මන් උගත් බුද්ධිමත් කාන්තාවන්ට බොහෝ ඇත. පිරිමින්ගේ කාම ආශාව සංසිඳුවීම මොනම ලෙසකින්වත් කාන්තාවගේ නිත්‍ය වගකීමක් නොවේ. මෙය තරයේ සිහි තබා ගත යුතුය. ගම්පහ කොටදෙනියාවේ දැරියට ඒ මහා කාම අපරාධය කර ඇය මරා දැමූ වරද ක්කරුවාට මරන දඬුවම දිය යුතුමය. නව රජය ඒ ගැන නිසි පියවර ගනු ඇති බවද විශ්වාසයි.

" ජෙමාගේ හතරවරම් " බ්ලොග් එකේ පල වූ ලිපිය
http://4warang.blogspot.com/2015/09/blog-post_20.html

11 comments:

  1. ලිපි දෙකම කියවුයෙමි. මේ සොඳුරු වනිතාව එහි පලකල අදහස් හා මේ ලිපියත් කියවීමෙන් පසු මට හිතුනේ 'ඔබ ජෙමා ගේ ලිපියේ වචන කිහිපයක් පමණක් අල්ලාගෙන ' කලබල වී ඇති සෙයකි.

    ගැහැණු පිරිමි බේදය පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් ලිංගික ක්‍රියාකාරකම් සිමා කරමින් අපි හැමෝම බැඳිලා ඉන්න මේ කෙහෙල්මල් සංස්කෘතික' බැම්මෙන් මිදුනොත් පීඩාකාරී ලිංගික හැසිරීම් අඩුවෙන එකක් නැත්ද? එවන් පරිසරයක් තුල වඩාත්ම වාසි ලබන්නේත් 'සාපේක්ෂව' දුර්වල ගැහනියමයි නේද? මොකද ඔබ කොච්චර කියුවත් ශක්තිවන්තයා විසින් දුර්වලයාව පෙලන න්‍යාය මත පීඩාකාරී ලිංගික හැසිරීම් වලදී පිරිමියෙකුට වඩා ගහනියෙකුට එයින් අවැඩක් වීම වලක්වන්න බෑ. ගැහැණු පිරිමි හැප්පෙනවට වඩා එකට යන එක හොඳ බවයි මගේ නම් හැඟීම..

    ReplyDelete
  2. කමෝන්...
    ඔහොම තමයි තියෙන්ඩ ඕනි. මම හිතන්නේ ඔබ තුමිය හොද ශක්තිමත් පුටුවක ඉදගෙන කකුල් දෙකම උස්සන්න. මොකද මම හිතන්නේ ඔබ තුමිය වලිගේ පාගගෙන.

    ඕකේ මම ඔබතුමියට වචනයක් කියන්ඩ ඕනි.

    ඔබතුමිය කියන විදියට ජෙමා සල්ලාලයෙක්. කාමාතුරයෙක්.
    ඕකේ.

    මම ප්‍රශ්ණ දෙක තුනක් ඇහුවාට කමක් නැති වේවි

    1. ඔබ තුමිය කියන විදියට ගණිකා වෘත්තියට ගැහැණිය යොමුවෙන්නේ පිරිමියාගේ වරදින් නම් ඇයි ගැහැණිය මුදලට පිරිමියා එක්ක යහන්ගත වෙන්නේ...?

    2. ඔබතුමිය දන්නවා ඇති ලෙස්බියන් සෙක්ස් කියලා දේකුත් තියනවා. සරලවම කීවොත් කාන්තා කාන්තා ඇසුර. ඊටත් වඩා සරල කරලා කිවොත් කාන්තාවන් විසින් කාන්තා ගණිකාවන් ඇසුරු කිරිම. එතන වරදත් පිරිමියාගේද...?

    3. දරුවන් ලිංගික හෝ ලිංගික නොවන අපයෝජනයට පත්වෙන්නේ පිරිමි කාමාතුරයන් අතින් පමණක්මද? කාන්තාවන් අතින් සිදු වෙන්නේ නැද්ද.? කාන්තාවන් අතින් කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වෙන්නේ පිරිමියාගේ වරදින්ද..?

    අනික් දේ තමයි කොතනම මම කිවේ ලිංගික අපරාධකාරයන්ට දඩුවම් නොකල යුතුයි කියලා. මමත් තරයේම පිලිගන්නවා අදාල ඝාතකයන්ට දඩුවම මරණය. ඒක නිතියට අනුව වෙන්නේ නැත්නම් වෙන්ඩ ඕනි පරණ ක්‍රමයකුත් පෝස්ට් එකේ ලියලා ඇති. මම හිතන්නේ ඔබතුමිය දැකලා නැතිව ඇති.

    දැක්කේ නැත්නම් මම දාන්නම්...

    ඔව් යකෝ වැරදියි...(ඕඩියන්ස් එකෙන් ප්‍රතිචාර)

    //* වැරදියි තමයි බං. මමත් පිලිගන්නවා ඒක.

    ඒ වගේ උන්ව එල්ලුම් ගහට යවන්ඩ ඕනි තමයි. ඒත් එහෙම වෙනවද...?
    නෑ.
    අඩුම ගානේ දැන් අර කාලයක් උනා වගේ.

    වැරදි කාරයා පොලිසියෙන් අල්ලනවා, පොලිසියට ගෙනියන අතරේ ඌ පැනල යන්න හදනවා ඉතිං පොලිසියෙන් ඒකාට වෙඩි තියනවා. ඒකා මැරෙනවා.

    දැන් එහෙම වෙන්නෙත් නැනේ... *//


    ReplyDelete
    Replies
    1. ම්... මේ වෙලාම මට තවත් දෙයක් හිතෙනවා. අර මගේ පෝස්ට් එකේ රතු පාටින් දාලා තිබ්බේ අවස්ථා තුනක්. ඒ අවස්ථා තුනේම පරිමියා කියන තැනට කාන්තාව රි ප්ලේස් කරලා බලන්ඩ. මොකද කාන්තාව කියන්නේත් රහත් වෙච්චි හැගිම් දැනිම් ආශාවල් නැති පිරිසක් නෙමෙයිනේ...

      Delete
    2. මම ඔබතුමියව ෆලෝ පාරක් දාගෙනම යන්නම්. ඒක ලේසි වෙයි මේ කතිකාවතට...

      Delete
  3. කාම ආශාව තියෙන්නෙ පිරිමියාට විතරක් නෙවෙයි නේද​? කාන්තාවක් සැමියත් එක්ක ලිංගික සම්බන්ඳතා වලින් සතුටක් ලබනවනම්. දරුවන් (ඔවුන්ගේ දරුවන් නෙවෙයි නේද? දරුවන් අයිති දෙන්නටම නේද​?) වෙනුවෙන් මවගේ හා ගෘහණියගේ භූමිකාවෙන් ලබන්නෙ සතුටක් නම් විවාහය, මවක්, ගෘහණියක් වීම වැරැද්දක් වෙන්නෙ කොහොමද​?
    ගෙදර බුදුන් අම්මා පට්ටම නෙවෙයි දරුවන් ගෙන් අම්මා කෙනෙක් ලබන සතුට ලබන්න කවද හරි අම්මා කෙනෙක් වෙන්න ඕන​. අම්මා කෙනෙක් වෙච්ච නැති කෙනෙකුට පේන්නෙ ළමයි වඳන්න විදින වෙදනාවයි, කවන පොවන, නැපි මාරු කරන එකයි විතරයි.
    විරුද්ධ වෙන්න ඕන ගැහැණියෙක් බිරිඳක්, මවක් හා ගෘහණියක් වෙන එකට නෙවෙයි. ගැහැණියෙක්ට පිරිමියාගෙන් විතරක් නෙවෙයි තවත් ගැහැණියෙක්ගෙන් හරි වෙන පීඩාවන්ට​.

    ReplyDelete
    Replies
    1. මෙයත් එක්ක මේව කතා කරල වැඩක් වෙයිද මන්දා

      Delete
  4. ගැහැනියක් මවක් විම වරදක් නොවෙයි; ඒ වගේමයි මවක් නොවිමත් වරදක් නොවෙයි. ගැහැණිය මවක් හැටියට සිමා කරන්න හදන එකයි වරද ! පිරිමියාට වගේ ම ගැහැණියටත් තව භූමිකා කොයි තරම් තියෙනවද ? ඒවාට නිදහස අවශ්‍යයි. ඒ නිදහස, සමානත්වය තහවුරු කරන්නේ නැතිව ‘ලෙයට-ලෙය; ඇහැට ඇහැ‘ වගේ ප්‍රතිපත්තිවලින්නම් විසඳුමක් තියෙනවද කියන එක ගැන හිතල බලන්න වෙනවා. මොකද, මේ වගේ දේවල්වලින් වෙන්නේ ඇත්ත විසද්‍රම් යට ගිහින්, මේ වගේ අපරාධවලට ඇති ඉඩ තවත් තහවුරු විමයි.http://syberheartblog.blogspot.com/

    ReplyDelete
  5. වෙළෙදාම මූලික වූ ධනවාදී සමාජයක තව දුරටත් ස්ත්‍රී ශරීරය යනු වෙළෙද භාණ්ඩයකි. ස්ත්‍රී ශරීරය වෙළෙද භාණ්ඩයක් වන නිසාම තමයි ස්ත්‍රියට මේ සමාජයෙන් ඉල්ලුමක් ලැබිලා තියෙන්නේ. මේකත් එක්ක ඒක ලබා ගන්න තරගයක් ගැටුමක් සමාජ සම්බන්ධතාවල හදල තියෙනව. මේ කාරණය ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියලා කවුරුවත් කියන්නෑ

    එක නිසා මේක විසදන්න මරණ දඩුවම ගෙනැල්ල හෝ ගණිකා වෘත්තිය නීතිගත කරල වැඩක් වෙන්නේ නැහැ. ඔය දෙකෙන්ම යොජනා කරන්නේ පැලැස්තර සහ ප්‍රශ්නය මගහැරයෑම. ඇත්තටම මේ ප්‍රශ්නත් සමග අර්බුදයට ගිහිල්ල තියෙන්නේ දුර්වලයන්, උදාහරණ විදිහට කුඩා ළමුන්, ආබාධිතයින්, වයස්ගත කාන්තාවන් වගේ පිරිස්.

    මේ ගැටලුවේදි තමන්ගේ ලාභය ප්‍රසිද්ධිය වෙනුවෙන් පෙනි සිටින මාධ්‍ය පෙන්වමින් ඉන්නේ එම සත්‍ය. ඔවුන්ටත් අවශ්‍ය වෙළදපොල ඒකට ජායාරූප , මරණ දඩුවම වගේ දේවල් ප්‍රසිද්ධ කිරීම කරන්නේ.

    ධනවාදය විසින් මිනිස් සම්බන්ධකම් කේෂේත්‍රයට ඇති කරන බලපෑම් සහ ගැටලු ලිබරල්, ජාතිවාදී ,ආගම්වාදි, ග්‍රෝත්‍රික ආකාරයෙන් කටයුතු කරල විසදන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. මෙතනදි ජනමාධ්‍ය ක්‍රියා කරේ ආචාරධර්ම පැත්තක තියල ජනප්‍රිය වෙන්න තරඟෙට පොර කමින්. හරි තොරතුරක් නොදැන පොලීසිය සැකයට කියන දේවල් මහා ලොකුවට මාධ්‍ය වලින් ප්‍රචාරය කරමින් පුද්ගලයන්ගේ ආත්ම ගරුත්වය පවා කෙලෙසුවා. එල්ලුම් ගහට ඉල්ලුමක් තියෙනව කියල ඒක ගේන්න කෑමොර දීපු අය මාධ්‍ය වලින් උලුප්පලා පෙන්නුවා නමුත් එල්ලුම් ගහෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන්ද කියල සංවාදයක් ඇතිකළේ නෑ. ජනමාධ්‍ය වලට අවශ්‍ය ජනප්‍රියත්වයයි සල්ලියි විතරයි.විචාරයට වඩා රැල්ලට මේ අය ඇදෙනව.

      Delete
  6. හොඳයි දැන් වනිතා හඬ කියන්නේ සේරටම මුල ස්වභාවධර්මයයි ගෑනුන්ට උපතින් පිහිටන ගෑනු කමයි කියලද?

    ReplyDelete
  7. හදිසියේ ආව. ඉන්නෙත් හදිසියක. කියෙව්වෙ උඩින් උඩින් ලිපිය වගෙම් වගේම කොමෙන්ටුත් තව තව සිතන්න යොමු කරනවා.

    ReplyDelete