Monday, June 15, 2015

ලාංකික කාන්තාවගේ හෙට දවස වෙනුවෙන් යහපාලනය රැකගනිමු

2015 ජනවාරි 8 වන දින පැහැදිලි ජනවරමක් ලබාගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගත්තේ මෙරට ජනතාව එක හඬින් යහපාලනය අනුමත කර බැවිනි. මේ ජනවරම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා බවට පත් කිරීමට මෙන්ම ඔහුට බලය ලබාදීමටද පැහැදිලිව පක්ෂව ලැබී ඇත. මේ චන්දයේදී සිද්ද වුනු වැදගත්ම හා වටිනාම දෙය වන්නේ සිංහල ජාතිවාදීන්ට හොඳ කනේපාරක් වැදීමයි. මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන අවිය වූයේ සිංහල ජාතිවාදීන් ඇවිස්සීමයි. එහෙත් ජනවරම ඒ සියල්ල උඩු යටිකුරු කළේ මහ රජාගේ ජාතිවාදයට සරදම් කරමිනි. මේ හරහා පරාජය වූ තවත් එක් දෙයක් තිබේ. එය මේ රටේ කාන්තා පරපුරට වැදගත් කාරනාවක් වේ. එලෙස කාන්තාවට අස්වැසිල්ලක් ලබාදෙමින් පරාජයට පත් වුනේ මෙරට සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී සමාජ රාමුවයි. 
               දැන් මෙරට කාන්තා පරපුර මේ ලැබූ ජයග්‍රහනය පන මෙන් සුරැකිය යුතු නොවේද? මහින්ද රාජපක්ෂ නම් ජාතිවාදී සම්ප්‍රදායික උඩු රැවුල වැවූ පිරිමියා රැක්කේ රටේ සම්ප්‍රදායික සමාජය මිස එයින් රටේ ප්‍රගතිශීලී කාන්තා පරපුරට ලැබුනු දෙයක් නැත. අද ඔහුගේ සාටක ගැලවී පැත්තක විසි වී ඇත. මෙරට ප්‍රගතිශීලී කාන්තා පරපුර මේ තත්වය හා වෙනස මහත් භක්තියකින් වැලඳගත යුතු යැයි වනිතා හඬ එක එල්ලේම කීමට කැමතියි. අද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ජාත්‍යන්තරය තුල අපේ රට ගැන යහපත් දැක්මක් ඇතිවෙමින් පවතිනවා. විශේෂයෙන් ලෝකයේ දියුණු බටහිර රටවල් අතර. මෙය ඉතා හොඳ තත්වයකි. ලාංකික කාන්තා පරපුරට ලොව දියුණු බටහිර රටවල කාන්තා ක්‍රියාකාරිනියන් සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීමේ අවස්ථාව නොබෝ දිනකින්ම ලැබෙනු ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතාත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් පෙරටුකරගත් නව පාලනය රුසියාව හා චීනය සමග ගනුදෙනු  වලට වැඩි කැමැත්තක් නොදැක්වීම ඉතා හොඳ තත්වයකි. රුසියාව යනු භෞතික දියුණුව කොපමණ තිබුණත් දැඩි සම්ප්‍රදායික සමාජ රටාවක් ඇති රටකි. එරට මේ වනවිට පුටින්ගේ නායකත්වය යටතේ තිබෙන්නේ බොරු සමාජවාදයකි. මෙවැනි රටවල් වලින් දුරස් වීම ඇත්තෙන්ම ප්‍රගතිශීලී ව්‍යායාමයකි.
                  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද දැන් නිදහසක් ලැබී ඇති හැඩය. දැන් ඒ පක්ෂයටත් බාදාවලින් තොරව එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ප්‍රගතිශීලීව කටයුතු කළ හැක. සැබෑ යහ පාලනය මේ තුලිනුත් දැකිය හැකි වේ. අද මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා දූරදර්ශීව ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන ලෝකයත් සමග අත්වැල් බැඳගනිමින් කටයුතු කරනු දක්නට ලැබේ. අද කාන්තාවන්ට නැවුම් බලාපොරොත්තු ඇතිව ජාත්‍යන්තරයට යා හැක. අද  පවතින රජයේ අගමැතිවරයා ඉතා පරගතිශීලී පුද්ගලයෙකි. එය එක්සත් ජාතික පක්ෂයටද ආවේනික ලක්ෂණයක් කීවොත් නිවැරදියි. මංගල සමරවීර රන්ජන් රාමනායක අකිල විරාජ් කාරියවසම් වැනි අයට වැදගත් තනතුරු ලැබී තිබීම ජාතිවාදී පුරුෂාධිපත්‍යවාදීන්ට ඇහැට කටු අනින්නාක් මෙන් වුවත් එය රටේ සියළු ප්‍රගතිශීලී පුරවැසියන් ලද ජයකි. මෙය විශේෂයෙන් කාන්තාවන් ලද ජයක් වේ. රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා අයිතීන් වෙනුවෙනුත් කාන්තා ප්‍රගතිය වෙනුවෙනුත් කටයුතු කරන්නේ බටහිර රටවල් ආදර්ශයට ගනිමින් ඉතා අවංකවය. නමුත් පසුගිය රජයේ සියළුදෙන මේ කටයුත්ත කළේ හොරට රැවටිල්ලටය. ඒ රැවටිලිකාරයන් කාන්තාවන් ගැන කාන්තා දිනයට බොරුවට කතාකරමින් කාන්තාවන්ගේ ප්‍රගතිය ගැන බොරු කතා කීවත් අවසානයට කර ඇත්තේ කාන්තාව කුස්සියට තල්ලු කර පුරුෂයාගේ වහලිය බවට පත් කිරීමට සම්ප්‍රදායට ඉඩ දීමයි.
                    

  පවතින යහපාලනය ඉදිරියටත් ආරක්ෂා කිරීමටනම් ඉදිරි මැතිවරණයේදී සම්ප්‍රදායික පිරිමින් කුණු කූඩයට දැමිය යුතුය. ඒ සඳහා මහින්ද රාජපක්ෂ වටා රොක්වන අනාථ පෙරමුණු සන්ධානය කොයි ලකුණකින් ආවත් පරාජය කළයුතුය. දෙශපාලනය තුල කාන්තා නියෝජනය 30% දක්වා වැඩි කිරීමටද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබීම ඉතා හොඳ ප්‍රවණතාවයකි. එය යහපාලනයද මැනවින් පෙන්නුම් කරන්නක් වේ. යහපාලනය තුලින් ජනතාව බලාපොරොත්තු වූ ව්‍යවස්ථා සංශෝධන වලට මුල සිට අකුල් හෙලූ සම්ප්‍රදායික අනාත පෙරමුණේ දේශපාලනය නතර කළයුතුය. අදත පාර්ලිමෙන්තු බහුතරය ඔවුන්ට තිබීම මහත් අභාග්‍යකි. එනිසා ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බහුතර ජනවරමක් ලැබීම වැදගත් වේ. මෛත්‍රීපාල සිරිසේන මහතාද කවුරුන් කෙසේ කීවත් සහය දෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. එය එසේම වියයුතුය. දැන් අවශ්‍ය සම්ප්‍රදායික අනාථයන් ගෙදර යැවීමයි. මේ අනාථ නඩය තමන්ට බලය තිබූ කළ සිදුකළ වංචා දූෂණ ගැන සොයා බලා දැඩි දඬුවම් පැමිණවියයුතුය. ඔවුන්ට නැවත නැගිටීමට ඉඩ දුන්නොත් ජයගන්නේ සිංහල ජාතිවාදය හා සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදයයි. ඊට කිසිසේත් මෙරට බුද්ධිමත් කාන්තා පරපුර ඉඩ නොතැබිය යුතුයි.
       
ජූනි 12 වනදා මහින්ද රාජපක්ෂ නැවත බලයට ගේන්න දඟලන අනාථ පෙරමුණේ රැලියක් මාතරදී පැවැත්විනි. එයට සෙනග ගෙනාවේ කෙසේදැයි රටම දනී. මුළු රටේම සිටින සම්ප්‍රදායික මතදාරීන් තමන්ට රැකවරනය සපයන අනාථ පෙරමුණ හා මහින්ද වෙනුවෙන් බස් පිටින් මාතර ගිය බව නොදන්නා කෙනෙක් වෙත්ද? කාන්තාවට හින්සා කරන්නන් ඇය තම කාමුක අවශ්‍යතාවය වෙනුවෙන් කාම වහලියන් කරගන්නන් ස්ත්‍රී දූෂකයන් හා සියල්ල හමුවේ සම්ප්‍රදායික ගෘහණිය හා ළමයි වදන එකෙන් පිට දෙයක් නොදන්නා නම්බුකාර ගෙදර බුදුන් අම්මලා ටික අනාථ පෙරමුණ වටේ එක් වී තිබේ. ඔවුන්ට දැන් යන එන මගක් නැත. දැන් කරන්නට තිබෙන්නේ නූතන ලෝකය කරා පියනගන්නට නොඉවසිල්ලෙන් සිටින රටේ බුද්ධිමත් කාන්තාවන් සම්ප්‍රදායික මෝඩකම් හා ජාතිවාදය අතහැර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් ශක්තිමත්ව තිබෙන රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය දිනවීමට ක්‍රියා කළ යුතුය. එහිදීද කාන්තා නියෝජිතවරියන්ට හැකිතාක් චන්දය දීම කළයුතුයි. සිංහල කාන්තාවන් ජාතිය රැකීමට ගියහොත් අවසානයට සිද්ද වෙන්නේ සිංහල ජාතියේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය රැකීමට මිස කාන්තාවගේ විමුක්තිය උදා කරගැනීම නොවේ.            

10 comments:

  1. මාන්දමිකයි බං... වෙන මොනව කියන්නද වනිතා ලියන හැම පෝස්ට් එකක් වගේම දුර්වල තර්ක තියෙන්නෙ.... මංද හැම එකම ඇන ඇන පෙන්නන්න බෑ ඒත් එකක් පෙන්නන්නං...

    2015 ජනවාරි 8 වන දින පැහැදිලි ජනවරමක් ලබාගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගත්තේ මෙරට ජනතාව එක හඬින් යහපාලනය අනුමත කර බැවිනි. මේ ජනවරම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා බවට පත් කිරීමට මෙන්ම ඔහුට බලය ලබාදීමටද පැහැදිලිව පක්ෂව ලැබී ඇත///

    මෙරට මිනිස්සුන්ට යහපාලනය කියල බම්බුවට වඩා (ඇත්තටම දැං ඒක ජහපාලනය වෙලා) මහින්ද ලොක්කව පරද්දල ගෙදර යනව වුවමනාවක් තිබ්බෙ...
    අනික තමා කවුරුවත් රනිල් වික්‍රමසිංහ ව අගමැති කරන්න ඡන්දෙ දුන්නෙ නැ... එයා අගමැති කලේ විධායක බලතල අනිසි ලෙස පාවිච්චි කරන්නෙ නෑ කියල කියපු සිරිසේන ජනාධිපතිවරයා විසින්... හෙවත් බලය අනිසි ලෙස භාවිතා කිරීමක්... ඊටත් ඒ තිබ්බෙ ජනාධිපතිවරණයක් මිසක් මහමැතිවරණයක් නොවන වග මතක තබාගන්න

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ලිපිය කියවන විට මටත් මේ ප්‍රශ්නෙම මතු කරන්න වෙනවා. කිවයුතු දේ ඔබතුමා කියා ඇති බැවින් ලිපිය අතාර්කික බව පමණක් කීම ප්‍රමාණවත්

      Delete
    2. කොහොමද තර්කේ දුර්වල වෙන්නේ සිරිසේන මහත්තයා චන්දෙට කලින්ම කිවුවේ නැද්ද ඒ කාලේ විපක්ෂ නායක වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරනවා කියලා? මතක නැද්ද?

      Delete
  2. ඔයා රන්ජන් රාමනායක ගැන වගකීමකින්ද ප්‍රකාශ කරන්නේ (අනිත් දෙන්න නම් අවුලක්නෑ).

    ReplyDelete
    Replies
    1. ඔයා මොකක් ගැනද අහන්නේ?

      Delete
  3. වනිතා ඇන්ටි කොහොමද. කාලෙකින් හොඳ ආතල් එකක් දෙන්න ඇවිත් වගේ. හික් හික් හික්..........

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ ඔය ජාතිවාදී ආතල් එකනම් යහපාලනය මගින් අවසන් කෙරෙයි ලඟදිම

      Delete
  4. ඔවු ඔවු වනිතා ඇන්ටි කාන්තාවන්ට විමුක්තිය දෙන්න මංගල රනිල් වගේ අය තමයි හොඳ. මොකද ගෑනියෙක් එක්ක බුදියල පුරුද්දක්වත් තියෙන එකක්යෑ මේ අයට නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි ගෑනු එක්ක බුදියන පිරිමි විතරද පිරිමි වෙන්නේ? ඒ අය විතරද ලෝකේ ඉන්න ඕනේ?

      Delete
  5. ජාතිවාදීන් බහුතරයක් දෙනා පුරුෂෝත්තමවාදීන් ය. පුරුෂෝත්තමවාදීකම හිතෙන් අත හරින්නට හැකි අයට ජාතිවාදය අත හැරම සුලු දෙයකි.

    ReplyDelete