Wednesday, November 25, 2015

යහපාලනය කනපිට හරවන්න ඉඩ නොදෙමු


ජනවාරි 8න් පස්සේ සුවහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන මේ රටේ බුද්ධිමත් ජනයා සහ විශේෂයෙන් බුද්ධිමත් කාන්තා ප්‍රජාව විසින් බලයට ගෙන ආ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මැති තුමා අගමැති ලෙස පත් කරගත්තේය. ඉන් පසු අගෝස්තු මස 17 වනදාත් මේ ගමන නැවතත් නැවුම් බලාපොරොත්තු මත ඉදිරියට යමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කොටගත් යහපාලන රජයක් බිහි විය. එදා සිට මේ දෙස ජාතිවාදීන් බැලුවේ වපර ඇසිනි. සිංහල ජාතිවාදීන් එදා සිටම යහපාලනය කනපිට හැරවීමට කුමන්ත්‍රණ කළා. සිංහල ජාතිවාදීන් සමග සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී රැලද සිටී. මේ සියළු දෙනාට අවශ්‍ය යහපාලනය යටතේ ලංකාව නූතනවාදී රටක් ලෙස සියළු දෙනාට සම අවස්ථා ලැබෙන නව ගමන් මගක යෑම අවහිර කිරීමයි. සිංහල ජාතිවාදී කොටස් සුළුතර ජනවර්ග වලට සම අවස්ථා හිමි වනවාට විරුද්ධය. ඇතැම් රනකාමී පිරිස් දැන් එදා යුධ පිටියේ විවිධ වැරදි හා විනය විරෝධී වැඩ කළ හමුදා සාමාජිකයන්ට දඬුවම් කිරීමට විරුද්ධය. වැරදි කළකාටත් එක සමාන ලෙස දඬුවම් දිය යුතුය. එකළ හමුදා මෙහෙයුම් සිදු වෙද්දී හමුදා සාමාජිකයින් ස්ත්‍රී දූෂණ කෙතරම් කර තිබේද්? මේවා කිසිවක් බොරු නොවේ. හමුදා සාමාජිකයින් අතඩංගුවට පත් කොටි කාන්තාවන් කී දෙනෙකු දූෂණය කර තිබේද? මේවා අපරාධ නොවේද? යුධ අපරාධ වලට දඬුවම් කළ යුතුමයි. එය වනිතා හඬෙන් තරයේ කියා සිටිනවා. බොහෝ  සිංහල ජාතිවාදී බොරු වීරයන් පුරුෂාධිපත්‍ය ඉහට ගත්ත අය වේ. මේ අය කාන්තාවන්ට සමාජයේ සෑම තැනම සම අවස්ථා ලැබෙනවාට අක්මැතිය. ඒ වගේම ලිංගික අනන්‍යතා වල විවිධත්වය මොවුන් පිළි නොගනී. එක්සත් ජාතික පක්ෂය සමග දැඩි වෛරයකින් පෙළෙන ඇතැම් ජාතිවාදීන්ට එක්සත් ජාතික පක්ෂය තුල ලිංගික අනන්‍යතාවල විවිධත්වයන්ට ඇති සමානාත්මතාවය පෙනෙන්නට බැරිය. ලෝකය ඉදිරියට යද්දී මොවුන් සම්ප්‍රදාය තුල හිර වෙති. යහපාලන රජයේ බුද්ධිමත් සාමාජිකයින් කුමක් කළත් මේ සිංහල ජාතිවාදීන් ඔවුන්ගේ ලිංගිකත්වය ගැනත් ප්‍රශ්න කරමින් අවලාද නගති. මේ අයගෙන් සමහරුන්ට අපගේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ළමයි නැති එක ගැන මහා රුදාවක් ඇතිය. ළමයි හැදීම නූතන ලෝකයේ මහා ලොකු වීරකමක් ලෙස නොසැලකේ. මේ මෝඩ සම්ප්‍රදායන් පමනි. දැන් අයවැයක් අල්ලාගෙන යහපාලන රජයට අවලාද නැගීමටත් රජය පෙරලා දැමීමටත් සිංහල බෞද්ධ ජාතිවාදය කටයුතු කරමින් සිටියි. යුද්ධයට ධනය විනාශ කර යුද්ධයෙන් පසුවත් හොරා කමින් රට ණය බරින් පීඩාවට පත් කර බංකොලොත් ආර්ථිකයක් සමග පසුගිය රජය වත්මන් යහපාලන රජයට රට බාර දුන්නා මතක නැද්දැයි ඔවුන්ගෙන් අසන්නට ඇත්නම් හොඳය. එවැනි තත්වයක් යටතේ යහපාලනය සමග මේ තරමට හෝ ජනතාවට සහන දෙමින් රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන වත්මන් රජයට ස්තූතිවන්ත විය යුතුය. මේ මොන චෝදනාවක් හෝ ගෙනැවිත් ජනවාරි 8 දිනූ යහපාලනය නැවත පාවා නොදිය යුතුය. විශේෂයෙන් රටේ බුද්ධිමත් කාන්තා පරපුරේ අනාගතය වෙනුවෙන් මේ යහපාලනය රැකගත යුතුය. මේ වන විටත් රාජ්‍ය නොවන සංවිධාන හා බහුජන සංවිධාන වල කටයුතු ගනනාවකට සහය වෙමින් අධික කාර්‍යබහුල තත්වය ඉඳිමින්ම මේ ටික ලීවේ එයද දැන් තිබෙන තත්වයක අනුව අත්‍යාවශ්‍ය දෙයක් කියා පෙනී ගිය නිසයි.