Sunday, March 8, 2015

2015 කාන්තා දිනයේ දියාරු බව ගැන කනගාටුව.


නූතන කාන්තාවට කිසිදු හවුහරනක් නොතිබූ පැවති දූෂිත දුෂ්ඨ රජය පැරදී කුනු කූඩයට විසිවුන පසු වනිතා හඬ ඇතුලු අභිමානවත් කාන්තා පරපුර බලාපොරොත්තු වූයේ කාන්තාවට සැබෑ ප්‍රගතියක් අත් කර දෙමින් නූතනත්වය කරා යන නව ගමන් මගක් ආරම්භ වේය කියායි. ශ්‍රී ලාංකික වනිතා පරපුර බලාපොරොත්තු වූ ආකාරයට මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය අති උත්කර්ශවත් අන්දමින් සමරන්නට රාජ්‍ය අනුග්‍රහයවත් ලැබී තිබුනාද කියා සැක සහිතය. 2015 මේ වසරේ ලෝක කාන්තා දිනය පැවති රජය සමයේ සැමරුවාටත් වඩා දියාරු ලෙස මෙවර සමරා කිසිම නැවුම් බලාපොරොත්තුවක් නැතිව අවසන් විය. කෙසේ නමුත් වනිතා හඬේ පැසසුම හා ගෞරවය ස්ත්‍රී මධ්‍යස්ථානයට හිමිවන්නේ කටුනායකදී පාගමනක් හෝ සංවිධානය කිරීම ගැනයි. එහි අවසනට ඉදිරිපත් වූ අදහස් අතර ස්ත්‍රී ශ්‍රම අභිමාණය හා පාර්ලිමෙන්තු කාන්තා නියෝජනය වැඩි කිරීම මීට වඩා සටන්කාමීව ඉදිරිපත් කළයුතුව තිබුණි. නමුත් එයනිකම්ම පාගමනක් හා සන්දර්ශනයක් බවට පත් වී තිබීම අපගේ කනගාටුවට හේතු වූ බව කිව යුතුයි. බටහිර රටවල සිදුවූ සටන්කාමී විප්ලවයක් ලංකාවේ කවදා කරන්නද කියා හිතෙන තරමට කාන්තා අරගල වලට නායකත්වයක් තවම රටේ නැත.
          සැබවින්ම මේ දේශපාලන බල පෙරලියෙන් නිසි ප්‍රයෝජනය ගෙන කාන්තා අරගලයේ සටන්කාමී බව වැඩි කළයුතුව ඇත. ඒ ක්‍රියාවලිය හරිහැටි සිද්ධ නොවන එක රටේ ප්‍රගතිශීලී කාන්තාවට ඇති ලොකුම ගැටළුවයි. රටේ සම්ප්‍රදායික නූගත් හනමිටිකාරයන් තවමත් හිතන්නේ කාන්තාව පිරිමියාගේ කාම අවශ්‍යතාවය සංසිඳුවන වහලිය හා ළමයි වදන මැෂිම කියාය. මේ සම්ප්‍රදායික හනමිටිකාර පිරිමින්ට උන ගැනෙන දැවැන්ත සටනක් කිරීමට ශක්තිය කාන්තාවට තිබියයුතුය. ඊට අවශ්‍ය නායකත්වය හා රාජ්‍ය අනුග්‍රහය රටේ වනිතා පරපුර නව රජයෙන් බලාපොරොත්තු විය. ගැටළුව මේ නායකත්වය හා අනුග්‍රහය නොලැබීමයි. අඩුම තරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවත් මේ ගැන හොයා නොබැලීම පුදුම සහගතයි. එතුමානම් කාන්තාව සම්බන්ධයෙන් සැබෑ ප්‍රගතිශීලී අදහස් ඇත්තෙකි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට රජයේ ප්‍රභල තනතුරක් හිමි නොවීමත් මෙයට බලපෑවා කියා වනිතා හඬට සිතේ. දැන් ගිය දේ ගිය දේ ගියාවේ. මෙතැන් සිට ඉදිරියටවත් නූතන කාන්තාවගේ අපේක්ෂා ඉටුවන වැඩපිළිවෙලක් ගැන සිතියයුතුය. එය ක්‍රියාත්මක වෙන දාට සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය සුනු විසුනු කර දමා කාමුක අධිපතිවාදී පිරිමින්ට පෙර වැරදි වලට පවා තදින් දඬුවම් කළයුතුය. මේ දැවැන්ත අරගලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන අනුග්‍රහය හා එදාට කාන්තාවට සම්ප්‍රදායික පිරිමින්ගෙන් එල්ලවන බලපෑම් මැඩපැවැත්වීමට අවශ්‍ය නීතිමය ආරක්ෂාව දැන්සිට ක්‍රමානුකූලව සකසාගතයුතුව ඇත. සුළුවෙන් හෝ කාන්තා දිනය වෙනුවෙන් යමක් කළ ස්ත්‍රී මධ්‍යස්ථානයට නැවත වරක් අපේ ස්තුතිය.

Sunday, March 1, 2015

අභිනව වනිතා කටයුතු ඇමතිනියට සුබ පැතුම්






මේ සටහන තබන්නේ අපගේ අළුත් වනිතා කටයුතු ඇමතිනිය වන රෝසි සේනානායක මැතිනියට සුබ පැතීමටයි. රෝසි සේනානායක මැතිනියට වනිතා හඬ සුබපතන්නේ ඇය හිටපු වනිතා කටයුතු ඇමතිවරයාට වඩා ප්‍රගතිශීලී වේ යැයි සිතන බැවිනි. ඇය මින් පෙර ලෝක රූ රැජිනක් වීම ගැනනම් අප එතුමියට ප්‍රශංසා නොකරන බවත් අවධාරනය කර සිටින්නේ එය නූතන කාන්තාවගේ අභිලාශයන්ට පටහැනි ප්‍රතිගාමී දෙයක් නිසා. ඒ කුමක් වුවත් අප රෝසි සේනානායක මහත්මියගෙන් වනිතා කටයුතු ඇමතිනිය ලෙස බොහෝ දේවල් බලාපොරොත්තු වන බව කිව යුතුයි.
        පළමුවැන්න මේ රටේ පසුගාමී සම්ප්‍රදායික ගෘහණිය හා මවගේ භූමිකාව කරමින් නිවසටත් කුස්සියටත් හිරවී සිටින කාන්තාවන් බටහිර රටවල සිදු වූ සමාජ පෙරලියට සූදානම් කර නූතනන ලෝකය කරා ගෙන යෑමයි. ඒ සඳහා ලංකාවේ ජන සමාජය පුරාවට විහිදී තිබෙන පුරුෂයාගේ අධිපතිවාදී වැට කඩුළු සීමා මායිම් බිඳ දමා පිටස්තර ලෝකය සමග බද්ධ වී ඉදිරියට යෑමට දොරගුළු විවර කර දෙන මෙන් අභිනව වනිතා කටයුතු ඇමතිනියගෙන් ඉල්ලා සිටිමු. රෝසි සේනානායක මැතිණියට අප ගෞරව පූර්වකව සුබ පතන්නෙමු.