Saturday, March 8, 2014

කාන්තා දිනය තුල සැබෑ ලෙස කාන්තා උද්‍යේගයක් තිබුණාද?


තවත් එක් කාන්තා දිනයක් කිසිදු උද්‍යෝගයකින් තොරව ඈලිමෑලි දියාරු ගතියකින් ගෙවී ගියේය. මේ ගැන යමක් නොකියා සිටීමට අදහස් කර පසුව යම් කිසි දෙයක් කීමේ අදහසක් සිතට නැගුනේ සැබවින්ම මෙය අවාසනාවන්ත තත්වයක් ලෙස මට හැඟී ගිය නිසයි. ඇත්තෙන්ම කාන්තා විමුක්ති ව්‍යාපාරයන් කාන්තා නිදහස අගය කරන සමාජ බලවේග හා සිවිල් සංවිධාන මෙදා කාන්තා දිනයට රටට දැනෙන යමක් කිරීමට තබා සමාජයට යම් පණිවිඩයක් දෙන වැදගත් ප්‍රකාශයක් කිරීමට හෝ අසමත් වීම බෙහෙවින් කනගාටුදායකය. මේ තත්වය හමුවේ කාන්තාවන්ගේ ප්‍රගතිය හා නිදහස වෙනුවෙන් කළයුතු අරගලයකට මුලපුරන යම්කිසි ගැම්මක් ඇතික්කරවියහැකි වැඩපිළිවෙලකට මුලපිරීමට තිබූ අවස්ථාවක් ඔහේ නිකම් මගහැරී ගියේය. වෙනත් වසර වලදීනම් කතා කිරීමට කාන්තා ප්‍රශ්නද බොහෝ තිබුණි එහෙත් මේ වසරේ ප්‍රශ්න නැති උනාද? ඇත්තෙන්ම උනේ ප්‍රශ්න වැඩි වුවත් ඒ ගැන නිසි උනන්දුවක් නොදැක්වීමය. සියල්ලට වඩා කනගාටුදායක දෙයක් උනේ ජනමාධ්‍ය වලින්ද සුපුරුදු පරිදි කාන්තා වැඩසටහන් කිසිදු සටන්කාමී එඩිතර ආකාරයකින් පුරුෂාධිපත්‍යට එරෙහිව නැගීසිටීමට වඩා කිසිම පනක් නැති ආකාරයට මෙහෙයවීමයි.
                              

           කාන්තා විමුක්ති ව්‍යාපාරයන් බටහිර රටවල එලිබැසපු මුල් යුගවල ඒ ගැන කොපමණ උද්‍යෝගයක් තිබුණාද? එම රටවල කාන්තාවන් අද කොපමණ ප්‍රගතියක් අත්කරගෙන ඇත්ද? ඇත්තෙන්ම බටහිර සමාජයේ මේ පිළිබඳ කතිකාවතක් ගොඩනැගුනු මුල් යුගයේ පුරුෂාධිපත්‍ය ගැන විවේචන එල්ල උනා පමණක් නොව කාන්තාවන් සංවිධානාත්මකව හා ඉතාමත්ම ක්‍රියාකාරී ලෙස දැඩි උද්‍යෝගයකින් පුරුෂයාගේ ආධිපත්‍යට එරෙහිව සටන් කිරීමක්ද දක්නට ලැබිනි. එකළ කාන්තාවෝ දහස් ගණනින් පාරට බැස උද්ගෝෂණයන්හි නිරත විය. බොහොමයක් කාන්තාවෝ නිවෙස්වල ස්වාමි පුරුෂයන්ගෙන් සිදුවන අඩන්තෙට්ටම් වලට එරෙහිව ප්‍රබල හඬක් නැගුවෝය. තවත් විශාල පිරිසක් කාන්තා විලාසිතා වලට එරෙහි වූයේ එහි සැබෑ පසුබිම පුරුෂයාගේ කාම තෘප්තිය බවත් ඉන් කාන්තාවන්ට පිරිමින් පරයා නැගී සිටීමට ඇතිවන්නේ බාධාවක් බවත් හොඳින් තේරුම් ගනිමිනි. බොහේ කාන්තාවන් ගෘහණියන් ලෙස කුස්සියටත් හැඳිමිටටත් සීමා වී තිබූ ජීවිත වලට නැවතීමේ තිත තබමින් ඉන් ඔබ්බට ගොස රැකියාවල නිරතවූයේ සම්ප්‍රදායික ලෙස පිරිමින්ට සීමා වූ රාජකාරි වලටද ඇතුලත් වෙමිනි. 
                              
                       
       
                         දෙවන ලෝක යුද සමය කාන්තාවන්ගේ විමුක්ති මාර්ගය විවුර්තකළ කාලපරිච්ඡේදය විය. එසේ වූයේ ඇමරිකාවේ යුධ නීතිය යටතේ පිරිමින් සියල්ලන්ට යුධ සේවය අනිවර්ය වී කාන්තාවටද කම්හල් රැකියා විවුර්ත වීම තුලිනි. ඒ තුලින් කාන්තාවන් කර්මාන්තශාලා වල විශාල ලෙස විවිධ රාජකාරිවල නිරත වුනත් ඔවුන්ට ලැබුණේ පිරිමින්ට සාපේක්ෂව අඩු වැටුපකි. කාන්තාවන්ට වූ මේ අසාධාරණයට එරෙහිව ඔවුන් සංවිධානය වී අරගල කරන්නට ඉදිරියට ආවේ මේ කාලවකවානුවේදීය. කාන්තා විමුක්ති ව්‍යාපාරයේ ප්‍රභලම පියවර ලෙස ඉතිහාසගත වන්නේද මේ ක්‍රියාවයි. එතැන් පටන් ඉදිරියට ගිය කාන්තා විමුක්ති ව්‍යාපාරය බටහිරදී බොහෝ ජයග්‍රහණයන් අත්පත් කරගනිමින් අදටත් නොනවත්වා ඉදිරියට ඇදෙයි. අද බටහිර කාන්තාවන්ට කළ නොහැකි යමක් නැත. මේ වනවිට බොහෝ බටහිර මෙන්ම ජාත්‍යන්තර සංවිධාන වල වැදගත් තනතුරු බොහොමයක් කාන්තාවන් විසින් හොබවනු ලබයි. අද ලොව බොහෝ අධ්‍යාපන ආයතන වලද ඉගෙනීම ඉහලටම යන්නේ කාන්තාවන්ය. බටහිර සමාජය සලකා බැලීමේදී බොහෝ බටහිර රටවල පවුල තුලද සැමියාගේ හිතූමනාපයට බිරිඳ පාලනය කළ නොහැක. අද එම රටවල කාන්තාවන් තමන්ට රිසිසේ ඕනෑම කටයුත්තක් කරමින් ඉතා ඉහල නිදහසක් බුක්තිවිඳිති. ඒ සියල්ලට මනා පිටුවහලක් ලැබෙන්නේ කාන්තාවන්ගේ රැකවරනය වෙනුවෙන් පනවා ඇති නීති රීති බටහිර රටවල ඉතා දැඩි වීමයි.
                          කාන්තා විමුක්ති ව්‍යාපාරය ප්‍රගතිශීලී ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකාවට දැනට කලකට පෙර හන්දුන්වාදෙනු ලබුවත් එයින් සතුටුදායක ප්‍රතිඵල අත්වූයේ යැයි සිතීම අපහසුය. කෙසේ වුවත් එයින් මේවනවිට යම්කිසි යහපත් ප්‍රතිඵලයක් අත්වී නැතැයි කීමටද නොහැකි වේ. කාන්තා විමුක්ති ව්‍යාපාරය රට තුල වඩා ශක්තිමත් වූයේ ගරු චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනිය මෙරට ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස රටේ පාලනය හෙබවූ අවධියේයි. එවකට කාන්තාවන්ගේ රැකවරනය වෙනුවෙන් බොහෝ නීති සම්පාදනය විය. එසේම කාන්තාවන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සම්ප්‍රදායෙන් මිදී නූතන යුගයට ඔබින ලෙස බොහෝ වැඩසටහන් කෙරිනි. විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව යම් මට්ටමකට බොහෝ ක්‍රියාකාරකම් වල නිරත වීමට සාපේක්ෂව වැඩි නිදහසක් කාන්තාවන්ට මේ අවධියේ අත්විනි. ඉන්පසුවට කුමාරතුන්ග මැතිනිය ජනපතිනියව සිටියදීම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වෙමින් බිහිවූ රජය මගින්ද කාන්තාවන්ට යම් පමණක සේවයක් සිදුවුණේ ජාත්‍යන්තරයේද සිත් දිනාගනිමිනි.
                                      මේ සියල්ල හමුවේ අද වනවිට පවතින තත්වය කුමක්ද? එය කාන්තාවන්ටත් කාන්තා විමුක්ති ව්‍යාපාරයටත් හිතකරද? මෙය සැබෑවටම ප්‍රශ්නාර්ථයකි. චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියගේ සමයේ කාන්තාවන්ගේ රැකවරනය වෙනුවෙන් ලිංගික අතවර වල විවිධාකාර ස්වරූපයන්ට එරෙහිව තැනුනු නීති අද වනවිට ඒ තරම් සාර්ථකව ක්‍රියාත්මක නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි අවධියේ කාන්තා හින්සනයට හා ගෘහ ප්‍රචන්ඩත්වයට එරෙහිව පැමිණිලි භාරගෙන නීති ක්‍රියාත්මක කිරීමට ස්ථාපිතකළ පොලිස් ඒකක හරි හැටි ක්‍රියාත්මක නොවන බවක් ඒ මහතාද කියා තිබුණි. කාන්තාවන්ගේ ප්‍රගතිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහන් මේවනවිට ඉදිරියට ඇදෙන්නේ ඉතාම මන්දගාමීවයි. මෙවර කාන්තා දිනයේදී අප දැක්කේද එයයි. කාන්තා දිනයටද මෑතක සිට සිදුවන්නේ සම්ප්‍රදායික ගෘහණියන් හා මවුවරුන් ඉලක්ක කරගෙන කරන වැඩසටහන්ය. සම්ප්‍රදායික ගෘහණියන්ට තවත් වටිනාකම් ලබාදීම පුරුෂාධිපත්‍යටම රුකුල් දීමක් නොවෙයිද? අනෙක කාන්තාවන් පුරුෂයාගේ කාමවස්තූන් බවට පත්කරවන ඔවුන්ගේ මානසික ධෛර්ය අඩපන කරන විලාසිතා ආදිය ප්‍රදර්ශනය කරමින් කාන්තා විමුක්ති ව්‍යාපාර කිරීමේ අර්ථයක් නැත. අප මෙවර කාන්තා දිනයට දුටුවේද පුරුෂයාට වහල්කම් කරමින් පුරුෂාධිපත්‍යයේ මනදොල සපුරන සම්ප්‍රදායික ගෘහණියන්ගේ හා ළමයි වදමින් ඒ වෙනුවෙන්ම ජීවිතය කැප කරන සම්ප්‍රදායික මවුවරුන්ගේ කියුම් කෙරුම් මිස සැබෑ කාන්තා විමුක්තිය හා ප්‍රගතිය කරා යන ප්‍රගතිශීලී කාන්තා වැඩසටහන් නොවේ. මෙය කෙලින්ම කිවයුතුයි. කාන්තාවන් වෙනුවෙන් හඬ නැගීමට ඉදිරිපත්වන පුවත්පත් ඇතුලු බොහොමයක් මාධ්‍ය මෙවර කාන්තා දිනයේදී ඒ වෙනුවෙන් එතරම් උනන්දුවක් ඇතිව හඬ නොනැගීමද සැබවින් කනගාටුදායකය.          



Saturday, March 1, 2014

වැලන්ටිනා තෙරස්කෝවා, මෙයා ගැන අහලා තියෙනවද?



වැලන්ටිනා තෙරස්කෝවා තමයි ලොව මුලින්ම අභ්‍යාවකාශ තරනයට ගිය කාන්තාව හැටියට ඉතිහාසගත වන්නේ. ඇය සෝවියට් දේශයේ
උපන් කාන්තාවක් උනා. ඒවගේම තවත් වැදගත් කාරනා රාශියක් ඇය වටා ගොනු වෙනවා. ඇය සෝවියට් රුසියානු ගුවන් හමුදා සාමාජිකාවක්ද උනා. වැලන්ටිනා තෙරස්කෝවා මේ ජය මාවත කරා ගියේ කාන්තාවක් හැටියට එවකට සමාජයේ තිබුන අභියෝග විශාල ප්‍රමාණයක් ජයගනිමින්.

           මෙහි අපට හිතන්නට කරුණු ගනනාවක් ඇතැයි මම සිතමි. ඉන් ප්‍රධාන දෙයනම් කාන්තාවන්ට ලොව අභියෝග ජයගෙන ඉදිරියට යා නොහැකිද යන්නයි.ඇත්තෙන්ම කාන්තාවන් ජීවිත වල බොහෝ බාධක තනාගන්නේ තම මනස තුලමයි. මේ අභියෝග ජයගත හැක්කේත් ඒ මානසිකව ගොඩනගාගත් බාධක ජයගැනීමෙන්. ඒ බව වැලන්ටිනා තෙරස්කෝවා චරිතයෙනුත් මනාවට ඔප්පු වෙනව.ලොව මෙවන් වීර කාන්තා චරිත අප රටේ කාන්තාවන්ටද නොමද ආදර්ශයක් සපයන බව කිවයුතු වැදගත් දෙයයි.